අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය මානසික ව්‍යාකූලත්වයට පත් පුද්ගලයන් වෙනුවෙන් අලුත් ප්‍රතිකාර ක්‍රම මෙන්ම නව පුනරුත්ථාපන වැඩපිළිවෙළක් එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත. ප්‍රතිකාර ලබා නිවෙස්වලට යන රෝගීන් වෙනුවෙන් වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් ඒ නිවෙස්වලටම යවා ඔවුන් පිළිබඳව පසුවිපරම් කිරීම මෙසේ ආරම්භ කර ඇති වැඩසටහන් අතර සුවිශේෂී එකක් බව වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.එම රෝගීන්ගේ පෝෂණ තත්වය, ඖෂධ ලබාගන්නා ආකාරය සහ පෞද්ගලික ස්වස්ථතාව සම්බන්ධයෙන් මෙහිදී විධිමත් ආකාරයෙන් සොයා බැලෙන බවද ඇය සඳහන් කළාය.



රෝගීන් සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සඳහා මෙසේ පිටත්කර යැවෙන්නේ මනෝ වෛද්‍යවරයකු, ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිලධාරියකු සහ සමාජ  සේවා නිලධාරියකු ඇතුළු කණ්ඩායමකි. එසේම මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම මෙන්ම හදිසි ව්‍යසනකාරී තත්වයකදී මානසිකව ඇතිවන බිඳවැටීම් මගහරවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රජා මානසික සෞඛ්‍යය විශේෂ වැඩපිළිවෙළක්ද මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් අලුතින් හඳුන්වා දෙනු ලැබ ඇත.

මේ අතර යම්කිසි පුද්ගලයකු සිය ස්ත්‍රී හෝ පුරුෂ භාවය හේතුකොටගෙන හිංසනයට ලක් වන්නේ නම් එය වැළැක්වීම සඳහා අවශ්‍ය උපදේශන සැපයීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී අදාළ නීතිමය අංශවලට යොමු කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ හිංසනය පිටුදැකීමේ ඒකකය නමින් නව ඒකකයක්ද ආරම්භ කරනු ලැබ ඇත. තවද සමාජයේ පවතින මානසික ගැටලුවලට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහයවීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන උපකාර සේවා අංකයක්ද (1926) හඳුන්වා දෙනු ලැබ ඇතැයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය  පවසයි.



රටේ ඕනෑම පුද්ගලයකුගේ මානසික ගැටලුවක් පූර්ව විනිශ්චයකින් තොරව මැනැවින් සොයාබලා මෙම වැඩපිළිවෙළ හරහා සහනය දෙන අතර අවශ්‍ය විටෙකදී ප්‍රජා මනෝවෛද්‍ය ජාලය හරහා අවශ්‍ය සේවා සැපයීමටත් අවශ්‍යතා අනුව අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ කරවීමටත් කටයුතු කෙරෙනු ඇත. මානසික ව්‍යාකූලත්වයට පත් පුද්ගලයන්ට පමණක් නොව පැමිණෙන ඕනෑම අයකුගේ මනසට සහනයක් ලබා දිය හැකි අයුරින් රෝහල ස්වභාව සෞන්දර්ය ආකාරයෙන් ආකාරයෙන් වඩවන නිර්මාණය කර  ඇති බවත් රෝහලේ කාර්ය මණ්ඩලයේ සුහදශීලී සේවාව තුළින්ද ඖෂධවලින් තොරව මානසික ප්‍රතිකාර සැලසීම අරමුණු කරගෙන සිටින බවත් වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

නිමන්ති රණසිංහ