agalawatte-incident

තම නිවෙසින් රෙදි මදින්න එපා යැයි කී 66 හැවිරිදි මවට පහරදුන් 37 හැවිරිදි පුතකු පෙරේදා (31) අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. අගලවත්ත, ඕමත්ත ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ රියැදුරකු වන සැකකරුගේ නිවසේ විදුලි බිල ගෙවා ගත නොහැකිවීම නිසා විදුලි බල මණ්ඩලය එහි විදුලිය විසන්ධි කර දමා ඇති අතර, ඒ හේතුවෙන් ඔහු තම රෙදි මැද ගැනීම සඳහා යාබදව පිහිටි තම මවගේ නිවසට ගොස් ඇත.



මේ දිනවල විදුලි බිල විශාල ලෙස ඉහළ යන නිසා තම නිවසෙන් රෙදි මැදීම නොකරන ලෙසත්, ජීවන වියදම ඉහළ නිසා තමන් ද ජීවත් වන්නේ අසීරුවෙන් බවත් එම වයෝවෘද්ධ මව පුත්‍රයාට පවසා ඇති අතර, එහිදී ඔහු මව සමග බහින් බස් වී ඇයගේ කෙස්වැටියෙන් අල්ලා පහර දී ඇතැයි පොලීසිය කියයි.  පහරකෑම හේතුවෙන් එම මව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි කර තිබේ. පහරදුන් බව කියන සැකකාර පුත්‍රයා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

ලක්මි කුඩලිගම