ct-scan-colombo-hospital

කොළඹ ජාතික රෝහලේ තිබෙන සී.ටී. ස්කෑන් යන්ත්‍ර 03න් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවත්, මේ නිසා දැනට ක්‍රියාත්මක වන යන්ත්‍රය මගින් දෛනිකව සිදුකරන පරීක්‍ෂණ ප්‍රමාණයත් සීමා කර තිබෙන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.මෙම යන්ත්‍රවලින් එක් යන්ත්‍රයක් මීට මාස 05කට පෙර ක්‍රියා විරහිත වූ බවත්, අනෙක් යන්ත්‍රය ඊයේ දිනය වනවිට ක්‍රියා විරහිත වූ අතර, මෙම යන්ත්‍ර දෙකේ සේවා නඩත්තු සඳහා ඇති කර ගෙන තිබෙන ගිවිසුම් දෙකේම කාලය අවසන් වී තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.



මේ නිසා මෙම යන්ත්‍ර දෙක අලුත්වැඩියා කටයුතු සිදුකරන දිනයක් පවා ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙන අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජාතික රෝහලේ අලුතින් ඉදිකර තිබෙන බාහිර රෝගී අංශයේ ස්ථාපිත කර ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍රය භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවද එම සංගමය සඳහන් කරයි. එහෙත් අදාළ යන්ත්‍ර ලබාදීමට බලධාර්න් නිසි කැමැත්තක් නොදක්වන බවත්, ජාතික රෝහල තුළ අලුතින් ඉදිකර තිබෙන බාහිර රෝගී අංශ ජනතා අයිතියට පැවැත් දිනේන් දිනම කල් යමින් තිබෙන බවත් එම  සංගමය පෙන්වා දෙයි.

ජාතික රෝහල තුළින් සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ සිදුකර ගැනීම සඳහා මාස හතරකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනවල රැඳීසිටීමට සිදු වී තිබෙන බවත්,

දැනට එක් යන්ත්‍රයකින් පමණක් පරීක්‍ෂණ කටයුතු සිදුකිර්ම නිසා පොරොත්තු ලේඛනවල සිට පරීක්‍ෂණ කටයුතු කිරීමේ කාලය තවදුරටත් දිගු වන බවත් එම සංගමය සඳහන් කරයි. සී.ටී. ස්කෑන් පරීක්‍ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට යාමේදී රුපියල් පහළොස් දහසත්, රුපියල් හැත්ත දහසත් අතර මුදලක් රෝගීන්ට වැය කිරීමට සිදුවන බවත්, දිවයින පුරාම රෝහල්වල පවතින්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර හතළිහක් වැනි සීමිත යන්ත්‍ර ප්‍රමාණයක් බවත් එම සංගමය පෙන්වා දෙයි.

එච්.අයි. තුෂාර