13-protest-parliament

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයට එරෙහිව සංඝයා වහන්සේලා පිරිසක් අද කෝට්ටේදී විරෝධතා පා ගමනක නිරත වූ අතර ත්‍රෛනිකායික සංඝයා වහන්සේලා මීට එකතුවී සිටියහ.
 විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණීමෙන් පසු පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුවිය.
 විරෝධතා පා ගමන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ දී සංඝ සම්මේලනයක් ද පැවත් විණි.
සංඝයා වහන්සේලා අදහස් දක්වමින් මේ ගැන මෙසේ කියා තිබුණි.



"ජේ.ආර් ජයවර්ධන මේ 13 සංශෝධනය එකතු කළේ මේ රටේ අතිමහත් ජනතාවගෙ, මහා සංඝරත්නයේ දැඩි  විරෝධතාවය මධ්‍යයේ. ජනතාව පාරට බැහැලා 13 එපා කියද්දී එහි පෙරටුව හිටියේ වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන.

හැට දහසක් තරුණයෝ ජීවිත පරිත්‍යාග කරපු එක අමතක කරලා තමයි මේ සියළු දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් අද පෙනීහිටින්නට උත්සහ ගන්නේ. ජාතික ජන බල වේගයේ මතය ප්‍රකාශ කරලා තිබුණා 13 ක්‍රියාත්මක කරන්නට ඕනෙයි කියලා.  හැටදහසක් තරුණයෝ සොහොන් වලින් නැඟිටලා ඇවිල්ලා ඔය නායකයින්ට සාප කරනවයි කියන එක ජනතා විමුක්ති පෙරමුණට කියා සිටිනවා.  

ඉතාමත් ගෞරවයෙන් කියා සිටිනවා ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවරු එක හඬින් රනිල් වික්‍රමසිංහ මේ යෝජනාව ප්‍රතික්ශේප කළා, රටට අනර්ථයක් සිද්ධ වෙනවා, මේක වහාම අකුල ගන්නැයි කියන ප්‍රකාශය සිව් නම විසින්නම ලිඛිතව දැනුම් දීලා තියෙනවා.

කවුරු හරි කියනව නම් රට දෙකඩ වෙන්නෙ නෑ කියලා, අපි ලෑස්තියි අභියෝගය භාර ගන්න. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව දක්වලා තියෙනවා 13 සංශෝධනය මුළුමනින්ම ඉවත් කරලා අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන එනවා කියලා.

උතුරේ ඇතැම් ද්‍රවිඩ දේශපාලන නායකයෝ තමන්ගේ පැවැත්ට්ම තහවුරු කර ගන්න වාර්ගික ගැටුම් නිර්මාණය කරන්න උත්සහ ගනිමින් ඉන්නවා. කෑලි කෑලි වලට මේ රට කඩලා දාලා ආගමික යුද්ධයක් වාර්ගික යුද්ධයක් නැවත ආරම්භ කරන්න.  රනිල් වික්‍රමසිංහ වැනි පාරාජිකා වෙච්ච දේශපාලන නායකයොත් නැවත වාර්ගික ගැටුමක් නිර්මාණයට අවශ්‍ය කරන්න සියළු පිඹුරු පත් සකස් කරමින් ඉන්නවා.

දහස් ගානක් අබ්භගාත වෙලා අදත් දුක් විඳිනවා මේ රටේ ඒකීය භාවය වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහ රට බෙදීමේ කටයුත්ත හැමවෙලාවෙම ඔහු විසින් සිද්ධ කළා. 2002 බලයට ආපු වෙලාවේ එල්.ටී.ටීයට නීත්‍යානූකූලභාවයක් ලබා දුන්නා. "