ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබූ වාහන 56ක් එම කාර්යාලයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.





එම වාහන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් ද සිදුකොට නොතිබූ බවත්, මෙම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කරගෙන නොතිබූ බවත් විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් වාහන 45ක් ලියාපදිංචි කොට තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ජනාධිපති කාර්යාලය සහ ඒ ආශ්‍රිත ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් වාහන ලියාපදිංචි වීමට හෝ එම ලිපිනයන් භාවිත කිරීමට හේතු වූ කරුණු පිළිබඳ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබූ බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි.