bandula-gunawardane-speaks

සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (31) පැවසීය.  අතිරික්තව සිටින ඵලදායී නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රම වේදයක් ද ක්‍රියාවට නැංවෙන බව ඇමැතිවරයා සඳහන් කළේය. 

ඇමැති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (31) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඵලදායී නොවන සේවකයන් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකසන ලෙස භාණ්ඩාගාරය උපදෙස් දී ඇතැයි කී ඇමැතිවරයා සෑම අමාත්‍යාංශයකම වියදම් අඩු කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් බැඳී සිටින බව ද කීවේය. ඉදිරියේ දී ගුරුවරුන් 26,000ක් බඳවා ගැනීම ද රාජ්‍ය සේවයේ සිටින අයගෙන්ම සිදුවන බව කී ඇමැතිවරයා දුම්රියට සාමාන්‍ය කම්කරුවන් ලෙස 3,000ක් බඳවා ගන්නේ ද බහුකාර්ය බළකායට බඳවාගෙන සිටින අය බවත්, නව රැකියා ලබාදීම  සිදු නොවන බවත් පැවසීය. රජයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව කී ඇමැතිවරයා රජයට එදිනෙදා වියදම් උපදවා ගත නොහැකි අර්බුදයක් මතුව තිබෙන බව ද කීය.

ජනවාරි මස රජයේ ආදායම රුපියල් කෝටි 15 870 ක් බව කී ඇමැතිවරයා එම මස මුළු වියදම රුපියල් කෝටි 36 780 ක් බව ද සඳහන් කළේය.

බදු ඉහළ නංවා ඇති නිසා මාර්තු අප්‍රේල් වන විට ආදායම් වැඩිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කී ගුණවර්ධන මහතා එම නව බදු මන්ත්‍රීවරුන් 225 දෙනාටත් පොදු බව කීවේය.ඉහළම ධනවතුන්ගේ වත්කම් බද්දක් අය කළ නොහැකිදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙරට සිටින සීමිත ආයෝජකයන්ගෙන් අසීමිත බදු අයකළොත් ගැටලු ඇතිවිය හැකි බවයි. මෙරට ව්‍යවසායකයන් විශාල පිරිසක් විදේශ රටවල ආයෝජනය කරමින් සිටින බවත්, බදු පැනවීමේ දී රටේ ආයෝජන, ඉතිරි කිරීම් ආදියට වන බලපෑම් බැලිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.


ඩයනා උදයංගනී