al-student-abuse-mentally-mathale

මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියක පිළිතුරු ලිවීම සඳහා වැඩිපුර කොළ ඉල්ලා සිටි අවස්ථාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා තමා කම්පනයට පත්වූ බව කියමින්

එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පෙරේදා (31) පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.  

තමා කම්පනයට පත් වූ නිසා තර්ක ශාස්ත්‍රයට අදාළ විෂය කරුණු අමතක වී ගිය බව එම සිසුවිය පවසන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මෙම සිසුවිය ඉකුත් 27 වැනිදා තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ විභාග පරීක්ෂකවරයකුගෙන් පිළිතුරු ලිවීමට කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන්  කරයි. මේ අවස්ථාවේ ‘මේකි මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්න ද දන්නේ නැහැ " යැයි කියා එම විභාග  පරීක්ෂකවරයා පැවසූ බව සිසුවිය වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති. එම විභාග පරීක්ෂකවරයා ඔහු අතේ තිබූ ජංගම දුරකතනයේ තිබූ ඡායාරූපයක් පෙන්වා එම පුද්ගලයා හඳුනන්නේ ද යන්න විමසූ බවත් සිසුවිය පොලිසියට පවසා ඇතැයි කියති.

මේ හේතුව මත තමා කම්පනයට පත් වී විෂය කරුණු අමතක වී ගිය බව සිසුවිය පොලිසියට වැඩිදුරටත් දැනුම් දී ඇතැයි පැවසේ.

මෙසේ කළ බව කියන විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ  ගුරුවරයා හඳුනන්නේ නොමැති බවත්, ඔහු ගැන තොරතුරු කීමට නොදන්නා බවත් සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම පොලිස් නිලධාරියා කීය.

 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය