13-mahanayake

රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම බලාත්මක නොකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (02දා) භාර දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහනායක ස්වාමීන් වහන්සේලා දෙනම බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය  ජනාධිපතිවරයාට ලබා දී තිබේ. මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර මහා නිකායේ උත්තර්තර මහනායක අතිපූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි යන මහනායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.



'13වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබතුමා කටයුතු කරන කරන බවට සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ඉඩම් හා පොලිස් බලතල, පෞරාණික ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්තාව විවර කරන්නකි . මීට පෙරද ධුර දැරූ විධායක ජනාධිපතිවරුන් විසින් 13වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළකී සිටියේ රට තුළ ඇති විය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාර් බව අවබෝධ කරගත් නිසා බව ඔබතුමන්ද මනාව දන්නා කරුණකි. ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍යය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිර්ම දැඩි මහජන අප්‍රසාදයටද හේතු වේ.



රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබාගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟවීමට බලපෑම් එල්ල වුවද රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වාධිපත්‍යය අනතුරේ හෙළන මෙවැනි යෝජනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ලෙස අපි අවධාරණය කර සිටිමු. නිදහසෙන් 75වැනි අභිමානවත් සංවත්සරය සමරන අපි ශ්‍රී ලාංකිකයන් ලෙස  ජාති ආගම් භේදයකින් තොරව රටේ සුරක්ෂාවත් සමෘද්ධියත් උදෙසා කැප වූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුළ බොහෝය .

දශක තුනකට අධික කාලයක් මෙරටෙහි අපි දැඩි අමිහිරි අත්දැකීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු. එහි ඍජු බලපෑමට ලක් වූ උතුරු- නැගෙනහිර පළාත් සංවර්ධනය කොට ජන ජීවිතය සුඛිත මුදිත කිර්මට රජය යුහුසුළුව කටයුතු කළ යුතුව පවතී. මධ්‍යම රජයේ වගකිවයුතු කැබිනට් ඇමති තනතුරු දරමින් එම පළාත්වලින් පත්වන දේශපාලන නායකයන්ට ප්‍රදේශය සංවර්ධනය උදෙසා මෙන්ම ජනතා අභිවෘද්ධිය උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදු කිර්මට ඉඩ ප්‍රස්තාව පවතින බව අපි හොඳාකාරවම දනිමු.

එහෙත් 13 ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඉහත කී බලතල පළාත් සභා වෙත ලබාදීම රජයේ පාලනය ව්‍යාකූල කිර්මට හේතු වන බව  නොරහසකි. එහෙයින් අප රටේ ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව මහා සංඝරත්නය ලෙස මෙයින් අවධාරණය කර සිටියහ.

ෂේන් සෙනෙවිරත්න