vishwa-kodikara-migration-youtube

රංගන ශිල්පී විශ්ව කොඩිකාර තම පවුල පිටින් ලංකාව හැර යන්නට සූදානම් බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් යූටියුබ් හරහා ආරංචියක් පැතිර ගිය අතර ඔහු දන්වා සිටින්නේ එම ආරංචි වැරදි එකක් වූවාසේම තමන් අපහසුතාවට පත් කළ බවයි.

‘මේ කතාව මට දැන් හිසරදයක් වෙලා. මොකද මේ කතාව ඇහිලා මං රඟපාන ටෙලි නාට්‍ය වල නිෂ්පාදන කණ්ඩායම් කලබල වෙලා චරිත ඉක්මනින් ඉවරකරමු කියලත් යෝජනා කරන්න ආවා.

මට මේක බොරුවක් කියල ඒත්තු ගන්වන්නත් විශේෂ උත්සාහයක් ගන්න ඕන වුණා.
මේ දිනවල විකාශනය වන ‘ගගන පියවර‘, ‘කියාදෙන්න ආදරේ තරම්‘ හා ‘අයිස්‘ ටෙලි නාට්‍ය වල මං දිගටම රඟපානවා ඒකෙ වෙනසක් නැහැ.
 මම ලංකාව දාල යන්නෙ නැහැ. ඒ කතාවම බොරුවක්. මේ කතාව පැතිරුණේ මම වෙනත් පත්තරයක් එක්ක කරපු සාකච්ඡාවකදි කියපු දෙයක් ගැන වැරදි අවබෝධයක් නිසා.
මමයි එරන්දියි කතාවෙලා හිටියා දරුවො දෙන්නගෙ අධ්‍යාපන කටයුතු වෙනුවන් ඔවුන් දෙදෙනාත් එක්ක එරන්දි විදේශගත වෙන්න ඕන කියල. මොකද ඒ තුන්දෙනාටම ඔසීවල සිටිසන් තියෙනව. මටත් ගන්න පුළුවන් වුණත් එහෙම නොකළෙ ලංකාවට තියෙන ආදරේ නිසා.මේ කතාව එදා සාකච්ඡාවේදී මම කිව්ව. නමුත් තේරුම් ගිහින් තියෙන්නෙ වරද්දලා.



මේ කතාව යූටියුබ් චැනල්වලින් අරගෙන ‘විශ්ව අද රෑ රට දාල යනව‘ කියල වගේම ‘විශ්ව මුළු පවුලත් එක්කම රට දාල ගියා‘ කියල ප්‍රචාරය කරල තිබුණ. මේ වීඩියෝ දැකල ෂුටිං කරන නාට්‍ය වලින් ප්‍රශ්න ආවා.
විශ්ව යනවනම් කියන්න ඔයාගෙ චරිතය අයින් කරන්න කියල. මට ඒක ලොකු වේදනාවක් වුණා වගේම ලොකු හානියක් වුණා. ගගන පියවර නාට්‍යයේ සහය අධ්‍යක්‍ෂවරයාත් කතාකරල ඇහුව විශ්ව ඔයා යනවද මොකද කරන්නෙ කියල. මම කිව්වා නෑ… නෑ… කොහොමටවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ කියල.

මේක මගේ වෘත්තිය. මම ඇත්තටම බය වුණා. මොකද මම කලාවට ආදරෙයි. ඒක නැතිවුණොත් ජීවිතය නැති වුණා හා සමානයි.‘