chathuranga-chathuri-story

කොළඹ තුරඟ තරග පිටියේදී පසුගිය සතියේ සිදුවූ සරසවි සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් නවතම තොරතුරු කිහිපයක් මේ වනවිට වාර්තාවී තිබේ. සරසවි සිසුවා සිසුවියව මරා දමන්නට තීරණය කරන්නේ  මීට මාස දෙකක් පමණ දක්වා රහසක් වශයෙන් තබාගෙන තිබූ තොරතුරකින් පසු සිසුවියගේ වෙනස්වීම නිසා ඇතිවූ වේදනාවෙනි. සිසුවා අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූවකු බවට දැනගත් අවස්ථාවේ සිට සිසුවිය ඔහුට ‘පිස්සා‘ යයි අමතමින් ඔහුව ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තාවෙයි.

මෙසේ සිය පෙම්වතියව ගෙල කපා මරා දමන්නට තරම් කුරිරු වූ පෙම්වතා නමින් පසිදු චතුරංගය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලැබුවේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ සාමාන්‍ය විද්‍යා උපාධියක් හදාරන සිසුවෙක් ලෙසිනි. චතුරංග අතින් ඝාතනය වන්නේ චතුරි හංසිකාය. ඇය  කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සංඛ්‍යාන විද්‍යා විශේෂවේදී සිසුවියකි.

පසිදු චතුරංග ජීවත් වූයේ වැල්ලම්පිටියේ කොටුවිල උස්වත්ත පාරේය. ඔහුගේ මව පියා හා නැගණිය එම කුඩා නිවසේ වාසය කරන අතර
පියා ත්‍රිරෝද රථ රියදුරෙකි. මව තේ කොළ කර්මාන්ත ශාලාවක සේවය කරන්නියකි. වැල්ලම්පිටියේ පලාත් පාසලක අධ්‍යාපනය ලබා ඇති චතුරංග සරසවියට සමත්වන්නේ ඒ 2 යි බී එකක් ලබමිනි. බාහිර සමාජය හා ඔහුට ඇසුර අඩුවූ බවත් බොහෝ විට පොත පත ඇසුර හා පරිගණක ඇසුර තිබූ බවත් නිවැසියන් පවසා තිබේ.
මේ අතර වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කැලණිය සහ කිරිබත්ගොඩ පැත්තේ නිවෙස්වලට යමින් චතුරංග සාමාන්‍ය පෙළ සිසුන්ට ගණිතය විෂය උගන්වා ඇත්තේ සිය පවුලේ ආර්ථික තත්වය අවම මට්ටමක පැවති නිසාය.


මියගිය චතුරිගේ පවුල ඊට වඩා වත්කමකින් යුතු එකකි.හෝමාගම කිරිවත්තුඩුවේ විසූ ඇයගේ දෙමාපියන් විශ්‍රාමික හමුදා සේවකයින් වූ අතර පියා විශ්‍රාම යාමෙන් පසු ෆාමසියක් පවත්වාගෙන ගියේය.
චතුරංගගේ ප්‍රථම ප්‍රේමය චතුරි නොවූ අතර පාසලේදී වෙනත් තරුණියක සමග ඔහු පෙමින් බැඳී තිබුණි. නමුත් මොහුගේ මානසික තත්ත්වය පිළිකෙව් කළ ඇය ඔහුව හැරයන්නට එකවර තීරණය කර තිබෙන අතර එම ආරංචිය නිසා ඇතිවූ කම්පනයෙන් ගෙළවැලලාගෙන මියයන්නට චතුරංග මීට වසර කිහිපයකට පෙර නිවසේදී උත්සාහ කර තිබුණි.
නිවස පිටුපස ගසක එල්ලෙන්නට ගිය ඔහුව බේරාගන්නේ අසල්වාසී වැඩිහිටියෙකි.එම අවස්ථාවේ චතුරංග අපේක්ෂා කළ ඉංජිනේරු සරසවි වරම නොලද නිසා දිවිනසාගන්නට හැදුවැයි නිවැසියන් අසල්වාසීන්ට වෙනත් දෙයක් පවසා තිබුණි.
චතුරංග හා චතුරි 2019 වසරේදී කොළඹ සරසවියට පිවිසෙන අතර දෙන්නා අතර සම්බන්ධයක් ගොඩනැගෙන්නේ 2020 වසරේදීය.
චතුරිගේ සමීපතමයින් පවසා ඇති පරිදි චතුරංග සිය ජීවිතයේ එක් දෙයක් හැර හැමදෙයක්ම චතුරිට කියා තිබෙයි. තමන්  දුප්පත් පවුලක අයෙක් බව, වරක් පාසල් ප්‍රේමයෙන් පරාජයට පත්ව ගෙල වැලලා ගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළ බව මෙන්ම තමා මානසික ආතතිය නිසා ඖෂධ ලබාගන්නා බව ඔහු කියා තිබේ. මෙම කාරණා චතුරීට ගැටලුවක් නොවූ බව පැවසේ. නමුත් චතුරංග සැඟවූ එක් කාරණාවක් තිබුණි. ඒ මානසික රෝගය දරුණුවීම නිසා අංගොඩ රෝහලේ වරින් වර නැවතුන කතාවයි.

කලින් කල උත්සන්න වන මානසික ආබාධය නිසා පසුගිය වසරේ අගෝස්තුවේත් චතුරංගට සිදු වන්නේ අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නටය. චතුරංගගේ අසනීප තත්ත්වය ගැන චතුරිට යම් වැටහීමක් ලැබෙන්නේ එවිටය. මෙතරම් බරපතළ අසනීප තත්ත්වයකින් චතුරංග සිටින බව ඒ වන තුරුම ඇය දැන නොසිටියාය.

එය දැන ගැනීමෙන් පසු ඇයට ඇතිවන්නේ දැඩි බියකි. අංගොඩ මානසික රෝහලේ සිට පැමිණි චතුරංගගේ දුරකතනයට කෙටි පණිවුඩයක් මගින් දෙදෙනා අතර ඇති සම්බන්ධය නතර කිරීමට චතුරි යෝජනාවක් කරන්නේ එබැවිනි.
ගතවූ කාලයේ දෙන්නා අතර සම්බන්ධය එතරම් යහපත් එකක් නොවූ බව චතුරි මිතුරියන්ට පවසා තිබුණි. ඇය ඒ සම්බන්ධ මුහුණු පොතේ ඉඟි සටහන්  පවා තබා තිබුණි.සරසවියේදී ඇය කවුරුන් හෝ පිරිමි කෙනෙකු සමග කරන කතාබහක් අසාමාන්‍ය ලෙස ප්‍රශ්න කරන්නටත් ඒ ගැන තේරුමක් නැති විරෝධයක් පළකරන්නටත් පෙම්වතා කටයුතු කිරීම ඇයට ප්‍රහේළිකාවක් වී තිබේ.

අනෙක් යෙහෙළියන් කාටවත් නැති මේ අසාමාන්‍ය ප්‍රශ්නය ඇය යෙහෙළියන් හා විවිධ අවස්ථාවල සාකච්ඡා කරන්නටත් මාතෘකාවක් කරගෙන තිබේ. මානසික රෝගියෙක් ලෙස අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ලබන කාලයේ ඒ බව හිතාමතා තමාගෙන් සඟවාගෙන සිටීම ගැන කලකිරී සිටි චතුරිට තම පෙම්වතාගේ අසාමාන්‍ය හැසිරීම හා මානසික රෝගය දෙකක් නොව එකක් බව තේරුම් ගත්තාය. ඇය ‘පිස්සෙකු සමග‘ වසන්නට බැරි බව කියමින් ඔහු අතහරින්නට තීරණය කරන්නේ ඒ නිසාය.

 චතුරිට වෙන පෙම්වතෙක් හෝ චතුරංගට වෙන පෙම්වතියක් තිබූ ප්‍රශ්නයක් මෙහි නොතිබුණි. දෙන්නා අතර නොගැළපීම් මත තවදුරටත් ප්‍රේමය පවත්වා ගන්නට අමාරු බව චතුරි තීරණය කර තිබුණි.

චතුරිගේ තීරණය දැනගෙන කලබලයට පත්වන චතුරංග ඇයට ආයාචනා කරන්නේ තමාව අත්හැර නොයන ලෙසය. තමා මුළු හදවතින්ම ඇයට ආදරය කරන බව ඔහු හැඬූ කඳුළෙන් පවසා තිබේ. ප්‍රථම ප්‍රේමය අහිමි වී යෑමෙන් පසු ජීවිතයම එපා වී සිය දිවි හානිකර ගැනීමට බාල්කයක එල්ලුණු තමා මෙවර නම් ජීවිතය නැති වෙන්නම නැති කර ගන්නා බව ද ඇයට කීවේය.

චතුරංග ඒ වන විට සිටින මානසික තත්ත්වය ගැන චතුරිට අවබෝධවී තිබූ අතර ජීවිතය නැතිකර ගතහොත් සිදුවන්නේ එහි චෝදනාව තමා මත පැටවීම නිසා මේ කාරනාව හීන් සීරුවේ හොඳින් බේරාගන්නට ඇය උත්සාහ කළාය.

පසුගිය 17 වෙනිදා දේශන අවසන්ව රේස් කොස් එකේදී කථාකරමු කියන යෝජනාවට ඇය එකඟවන්නට ඇත්තේ ඒ අනුවය.
ඒ අවස්ථාව වනවිට තමන්ට චතුරිව යළි නම්මාගන්නට බැරිවන බව තේරුම් ගෙන සිටි චතුරංග ඇයව වෙනත් අයට අහිමිවීම වැලැක්වීමේ දුෂ්ඨ සැලැස්මක සිටියේය. ඔහු ඇගේ මූණ බලාගෙන පිහියෙන් අනින්නට බැරි නිසා ආදරේ නාමයෙන් පුදුමයක් කරන්නට මූණ ලේන්සුවෙන් වසාගන්නට ඇගෙන් ඉල්ලා පිහිපහර එල්ල කරන්නේය.


 චතුරිව ඇගේ පෙම්වතා වූ චතුරංග අතින් ඝාතනය වීමේ ඛේදවාචකය රටම දැනගන්නේ ඉන් පසුවය.

“චූටි එන්න එන්නම මට එයාව එපා වෙන විදිහටයි හැසිරුණේ. මට පිස්සා කියන්නත් ගත්තා. ඒ වෙලාවට මට ලොකු වේදනාවක් හිතට එනවා. ඇයි එයා එහෙම මට කියන්නේ කියල. වෙන කවුරු කීවත් කමක් නැහැ. චූටි එහෙම කිවුවම මට දරා ගන්න බැරි වුණා. “ අත්අඩංගුවට පත් චතුරංග පොලිස් නිලධාරීන් හමුවේ කියා තිබේ.
පාපොච්චාරණය අනුව  ඇයව මරා දැමීමට චතුරංග සැලසුම් කරන්නේ සිද්ධියට දින හතරකට පෙරය. පසුගිය 15 වෙනි ඉරිදා නි‍වසේ සිට පාපැදියක නැඟී ඔහු වැල්ලම්පිටිය හන්දියට ගොස් උල් පිහියක් මිලදී ගන්නේ මෙගා සේල් වෙළදසලකිනි. ඔහුගේ අතේ ඇති ගානට මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ පාන් කපන කුඩා පිහියකි. පත්තර පිටුවක එතූ එම පිහිය රුපියල් 140කට මිලදී ගත් චතුරංග එය ගමන් මල්ලේ දමාගෙන තිබුණි.

“එදා මම කැම්පස් ගියේම චූටි ව මරනවා කියල හිතාගෙනමයි. පිහියත් අරගෙනමයි මම එදා ගියේ. චූටිට කිවුවා ඔයාත් එක්ක නිදහසේ කතා කරන්න ඕනේ, අපි කැම්පස් එකෙන් එළියට යමු කියල. චූටිත් ආවා. මම මුලින්ම චූටි ව එක්කරගෙන ගියේ නිදහස් චතුරශ්‍රයට. එයාව එතැනදී පිහියෙන් ඇනල මරන්නයි හිතාගෙන හිටියේ. සෙනඟ ඉන්න නිසා මට බය හිතුණා කවුරුහරි මගේ දිහා බලාගෙන ඉන්නවා කියල.

ඊට පස්සේ ඒ කිට්ටුව තවත් තැනකට ගියා. එතැනදී වැඩේ කරන්න බැරි වුණා. පස්සේ එයා එක්ක රේස් කෝස් එකට ආවා. නුග ගහ අසල වාඩිවෙලා ටික වෙලාවක් හිටියා. මම හිතුවා එතැනදී චූටිව මරණවා කියල. ඒත් මගේ දිහා කවුරු හරි හරි බලා ඉන්නවා වගේ මට දැනුණා. ඒ නිසයි ග්‍රවුන්ඩ් එකේ ස්කෝර් බෝඩ් එක ගාවට එයාව එක්කර ගෙන ගියේ. ඒ වෙලාවේ එයා කිව්වා ආයි නම් මෙතැනින් එහාට කොහේටවත් යන්නේ නැහැ කියල. මම කිව්වා මෙතැනින් එහාට යන්නේම නැහැ. මට ඔයාට සප්‍රයිස් කරන්න ඕනේ ඒ නිසයි මෙතැනට එක්කර ගෙන ආවේ කියල. එයා ඇහුවා ඒ මොකක්ද කියල. මම එයාට කිව්වා ඇස් දෙක වහ ගන්න කියල. එයා ඇස් දෙක වහ ගත්තා. මට බය හිතුණා මරන්න ඉස්සරින් ඇස් අරියි කියල.


ඒ නිසා මම එයාට කිව්වා ඇස් වහන්න ඕනේ කියල. එයාත් මං කියන දේට කැමති වුණා. මම මගේ සාක්කුවේ තිබ්බ ලේන්සුව අරගෙන එයාගේ ඇස් දෙක වැහෙන්න ඒක ගැටගැහුවා. ඔය වෙලාවේ මට මතක් වුණා, චූටි මට නරක විදිහට බනින ඒවා. ඒ නිසා මම දෙපාරක් හිතුවේ නැහැ. බෑග් එකේ තිබ්බ පිහිය අරගෙන බෙල්ලට කෙටුවා. බෙල්ලේ වම් පැත්තටයි පිහි පහර වැදුනේ. චූටි කෑගහගෙන ලේන්සුව ලිහා දැම්මා. ඒත් එක්කම තව පාරක් බෙල්ලට කෙටුවා. ලේ බෙල්ලෙන් විද්දා. චූටි උදව් ඉල්ලා කෑගහන කොට මම පිහියත් බෑගයේ දාගෙන එතැනින් කැම්පස් එක පැත්තට දිව්වා“ චතුරංග ඒ මිලේච්ඡ සිදුවීම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දිග හැරියේ එසේය.

තුරඟ තරග පිටියේ සිට කොළඹ විශ්වවිද්‍යාලය දෙසට ගමන් මල්ල ද තුරුළු කරගෙන දිවා ආ චතුරංග අතරමගදී ගොඩවන්නේ ත්‍රිරෝද රථයකටය. එම රථයෙන් බොරැල්ලට පැමිණෙන ඔහු ගොඩ වන්නේ කිරිබත්ගොඩ බලා ධාවනය වෙමින් තිබුණු 154 බස් රථයකටය. එම බස් රථයෙන් ඔහු බැස ගන්නේ අලුත් පාලම මතිනි. නැවතත් ත්‍රීරෝද රථයකට ගොඩවන ඔහු එහි නැඟී යන්නේ කළු පාලම අසලටය.

“කෝච්චියට බෙල්ල තියන්න හිතාගෙනයි කළු පාලම ගාවට ගියේ. කෝච්චි පාරේ බෙල්ල තියාගෙන ටික වේලාවක් හිටියා. කෝච්චියක් එනකොට බය හිතුණා. ඒ වැඩේ හරියන්නේ නැහැ කියල තේරුණ නිසා ආයිමත් ත්‍රිවිල් එකක් අරගෙන ගෙදරට ගියා“ චතුරිව මරා දැමීමෙන් පසු සිය දිවි හානිකර ගැනීමට චතුරංග උත්සහයක් ගන්නේ එසේය. එය හරි නොගිය තැන නිවසට යන විට එහි සිටින්නේ නැගණිය පමණි. ඇය ඒ වන විට සිටින්නේ නාන කාමරයේය. මව්පියන් ගැන නැගණියගෙන් විමසන චතුරංග සිය මුදල් පසුම්බියත් ජංගම දුරකතනයත් ලේ තැවුරුණු බෑගයත් නිවසේ තබා පිටතට යන්නේ හැඳ සිටි ඇඳුම් පවා උනා දමා අලුත් ඇදුමක් ඇඟලාගෙනය.

කැලණි ගඟ ගලා බසින්නේ චතුරංග පදිංචි නිවසට කිට්ටුව පාතිනි. චතුරංග ගමන් ගත්තේ කැලණි ගඟ දෙසටය. ඒ ගොස් පළුගම අසලින් ගඟට පනින්නේ සිය දිවි හානිකර ගන්නට සිතාගෙනය.

“ගඟේ ගිලෙනකොට ලොකු බයක් හිතට ආවා. දෙවැනි පාර ගිලෙනකොටම අත්තක් අල්ලගෙන ගොඩට ආවා. ඉවුරේ ඉදගෙන කල්පනා කලා මොනවද කරන්නේ කියල. මැරෙන්නමයි හිතුනේ. ආයිත් පාරක් ගඟට පැන්නා.

ඒ වෙලාවෙත් මැරෙන්න බයක් හිතට ආවා. මම බයවෙච්ච පාරට කෑ ගැහුවා.“ චතුරංගගේ එම හඩින් ගඟට පැන ඔහුව ගොඩට ගන්නේ ඒ අසල ගං ඉවුරේ රැඳී සිටි පුද්ගලයෙකි.

එසේ තෙවැනි වතාවටත් සිය දිවි හානිකර ගැනීම වැළකී යාමෙන් පසු චතුරංග තෙත බේරෙන ඇදුම් පිටින් ත්‍රීරෝද රථයක නැඟී නිවසට එන්නේ සිය නිවෙසේ බාල්කයක එල්ලී සිවුවැනි උත්සහයත් ගන්නට සිතාගෙනය. එහෙත් ඔහුට බාල්කය දිහා ඇහැක් අර බලන්නටවත් ඉඩක් නොවීය. කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් එහි සිටි අතර ඔහු අත්අඩංගුවට පත්වෙන්නේ ද සවස හතරටය.

 පසිඳු චතුරංග කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් හසුකරගන්නා විට සැකකාර ඔහුගේ බෑගයේ තිබී ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන පිහියද පොලීසිය සොයාගත් අතර පසුව පොලිසිය වෙත රැගෙන ආ සැකකරුගෙන්, සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පාපොච්චාරණයක් කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට 18 වනදා ඔහු ඉදිරිපත් කළ පසුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.එහිදී සැකකාර සිසුවා මානසික ආබාධයකින් පෙලෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇත.
 සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.