viral-fever

කාලෙන් කාලයට විවිධ වයිරස රෝග රටපුරා පැතිර යයි. ඒ අතරට විවිධ වෙනස්කම් ඇති කරමින් වයිරස් උණ ද පැතිර යාම වසර පුරාම කඩින් කඩ දක්නට ලැබේ. මේ කාලයේ ද කුඩා දරුවන් අතරද වයිරස උණක් පැතිර යාමට පටන් ගෙන තිබේ. මේ වයිරස් උණ දරුවන් අතර විවිධ වෙනස්කම් ඇති කරන බවත් පැහැදිලිව පෙනේ. මෙනිසාම මේ පැතිර යන්නේ කොවිඞ් ආසාදනයේ යම් ප්‍රභේදයක් දැයි ජනතාව අතර සැකයක් පවතී. එහෙත් උණ වයිරස හා බැක්ටීරියා හේතුවෙන් කාලයෙන් කාලයට පැතිර යා හැකිය. සාමාන්‍යයෙන් මේ කාලයේ පැතිර යන වයිරස උණ පහසුවෙන් දරුවන් අතර බෝවීම සිදුවේ.


රෝග ලක්ෂණ


මෙම වයිරස උණට සෙම කැස්ස තදින් ඇතිවේ. ඇතැම් විට කැස්ස සමඟ දරුවාට හාතිය ඇතිවේ. පාන්දර හතිය ගතිය එනම් පපුවේ මහන්සිය වැඩිවේ. මෙනිසා දරුවාට රාත්‍රියට පාන්දරම වැඩියෙන් කැස්ස ඇති වේ.කැස්ස සමග හොටු දියර ඇතිවේ. ඒ සමඟ උණ ගැනේ.




මෙම ලක්ෂණ සමහර දරුවන්ට වෙනස්ය. සමහරුන්ට කැස්ස හෙම්බිස්සාවෙන් පසු උණ ගැනේ. සමහරුනට උණ තදින් ඇතිවේ. සමහරුන්ට යාන්තම් උණ පවතී. බැක්ටීරියා මගින් උණ ගැනුණොත් ඇතිවන තත්ත්වය තරමක් ප්‍රබලය. බොහෝ විට තදින් උණ ගැනේ. සෙම හා සෙම කැස්ස ඇතිවේ. මෙවැනි තත්ත්වයක දී ප්‍රතිජීවක දිය යුතුමය.

එහෙත් වයිරස් උණට ප්‍රතිජීවක අවශ්‍ය නැත. තදින් සෙම කැස්ස ඇති වුවහොත් වෛද්‍ය පරීක්ෂාවෙන් පසු ප්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. මෙම උණට ප්‍රතිකාර ලබා දෙන්නේ රෝග ලක්ෂණ සඳහායි. මෙසේ කාලෙන් කාලෙට පැතිර යන උණ දරුවාට වැළඳුන ද බිය විය යුතු නැත. එහිදී රෝග ලක්ෂණ තරමින් වැඩි නම් ප්‍රතිකාර කළ යුතුය. මෙම උණත් සමග මීට පෙර හතිය නොසෑදෙන දරුවන්ට වුව ද හාතිය ඇති විය හැකිය. එහෙත් එසේ සෑදුනාට එම හතිය දිගටම ඇති වන්නේ නැත.ඒ වයිරසයේ ලක්ෂණයකි.


හතියට හේතු


හතිය නොතිබූ දරුවාට වුවද උණ ප්‍රතිශ්‍යාව සමඟ හතිය එන්නේ ශ්වසන මාර්ගයට වයිරසය ආසාදනය වීම නිසාය. එසේ වූ විට ශ්වසන නාලිකා පහසුවෙන් හැකිළීමට පටන් ගනී. එය සිදුවන්නේ තාවකාලිකවය. එවිට රාත්‍රියට පාන්දරට දරුවාට හතිය ඇතිවේ. මෙසේ පැන නගින හතිය වයිරසය පහව යන විට අඩුවී යයි. එම හතිය දිගු කාලයක් තිබෙන්නේ නැත.




හතිය තිබෙන දරුවා.


එහෙත් හතිය තිබෙන දරුවකුට මෙම උණත් සමග සෙම කැස්ස හතිය වැඩි විය හැකිය. හතිය තිබෙන දරුවකුට මෙම වයිරස උණ ගැනුණොත් සැලකිලිමත් විය යුතුය. ඒ වයිරස උණ නිසා හතිය වැඩි විය හැකි නිසාය. මේ හැර හතිය නොතිබූ දරුවකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස අඩුවූ විට හතියත් සති 1-2න් පහව යා හැකිය.වසරට අඩු දරුවන්ට මෙම වයිරස උණ තරමක් අපහසුතා ගෙන දෙයි. ඒ ශ්වසන අපහසුතා ඇති වීමෙනි.මේ හැර වෙනත් රෝගවලින් පෙළෙන විශේෂයෙන් හෘද රෝගවලින් පෙළෙන දරුවන්ට මෙම වයිරස උණේ බලපෑම වැඩිය.


ප්‍රතිකාර මොනවාද?


උණ තිබෙන විට වයසට අනුව නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය පැය හයකට වරක් දිය හැකිය. මේ හැර කැස්ස ඇති විට වෛද්‍ය උපදෙස් මත සරල ඖෂධ නියම කරනු ඇත. මෙම වයිරස උණේ විශේෂත්වයක් වන්නේ උණ සෙම්ප්‍රතිශ්‍යාව ඉක්මනින් අඩු වුවත් කැස්ස සති 1 - 2 ක් පමණ තිබීමය. ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන්ට ඇදුම සමගම කැස්ස සති කිහිපයක් තිබිය හැකිය. එහෙත් හතිය කැස්ස කියා රෝහල් ගත කිරීම අවශ්‍ය නැත. එහෙත් හතිය උත්සන්න වුවහොත් ස්වසන අපහසුතා ඇතිවන බැව්න් කුඩා දරුවන්ට එය වඩාත් අපහසුතා ඇති කරන නිසා රෝහල් ගත කර ප්‍රතිකාර කිරීම සුදුසුය. මේ හැර දරුවා හුස්ම ගන්නා විට පිටතට ඇසෙන තරමට ඇදුම හතිය ශබ්ද තිබේ නම් රෝහල් ගත කිරීම සුදුසුය.


නිවසේ දී ප්‍රතිකාර


උණ සෙම්ප්‍රතිශ්‍යාවට දරුවා රෝහල් ගත කළයුතු නැත. රෝහල් ගත කළ යුත්තේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා සමඟ තදින් කැස්ස උණ තිබේ නම් පමණි.


සේදීම සුදුසු ද?


දරුවාට සෙම කැස්ස උණ තිබෙන විට සීතල වතුර නෑවීම සුදුසු නැත. එවිට කැස්ස හතිය වැඩිවේ. එහෙත් මද උණුසුම් ජලයෙන් දරුවාගේ ඇඟ සෝදන්න. නෑවීම නොකළ යුතුය. සාමාන්‍යයෙන් හතිය තිබෙන දරුවකුට මෙම වයිරස උණ ගැනුණොත් සෑම විටම මද උණුසුම් ජලය පානයට දෙන්න. උණුසුම් ජලයෙන් ඇඟ සෝදන්න සීතල ජලය පාවිච්චි නොකළ යුතුය.




පාසල් යැවීම සුදුසුද?


පෙර පාසල, පාසල මගින් මෙවැනි රෝග නිතර නිතර දරුවන් අතර වැළදෙයි. සාමාන්‍යනේ මෙම වයිරස උණට කැස්ස සති 1- 2 ක් පමණ තිබේ. ඒ කාලයේ දරුවා දුවිලි වලින් අයින් කරන්න. උණු ජලය නිතර පානයට දෙන්න.


බෝවෙනවා ද?


මෙම වයිරස් උණ ඉතා ඉක්මනින් බෝවෙයි. එසේම දරුවාට එක වරක් සැදුණු විට නැවත නොසෑ දෙන්නේ නැත. එය කිහිප වරක් සෑදිය හැකිය. මෙම උණ දරුවන් අතර මෙන්ම දරුවාට වැඩිහිටියන් තරුණ දූ දරුවන් ගෙන් බෝවිය හැකිය.


ආහාර - දිය යුතුද?


උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස තිබුණා කියා කිසිම ආහාරයක් නොදී සිටිය යුතු නැත. දරුවා කැමති නම් ඉල්ලනවා නම් ඕනෑම ආහාරයක්, පානයක් දෙන්න. එහෙත් මේ කාලයේ සීත කළ ආහාර පාන දීම අඩු කරන්න. එයින් ඇදුම, සෙම කැස්ස වැඩිවේ. දරුවාට ශ්වසන අපහසුතා වැඩියෙන් දැනේ. එනිසා හැකි පමණ උණුවෙන් ආහාර පාන දෙන්න. මෙම උණ දින කිහිපයකින් පහව යනු ඇත.


සටහන - ශිරානි ගල්ලෑල්ල