sakvithi-ranasinghe

සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නඩුවෙන් මුදාහල හැකි විත්තිකරුවන් සහ චෝදනා සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳව ලබන මාර්තු මස 14 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඊයේ (23) නියම කළේය.



නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් විත්තිකරුවන්ගේ නීතිඥවරයා ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් රජයේ නීතිඥවරිය කළ දැනුම් දීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වා ගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුවන් කිහිපදෙනකු නඩුවේ සංශෝධිත චෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානමින් සිටින්නේ යැයි දැනුම් දුන්හ.ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට රජයේ නීතිඥවරිය තැන්පත්කරුවන්ට ගෙවිය හැකි මුදල් ප්‍රමාණය හා ඊට අදාළ ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයිද අදාළ වාර්තාව අධ්‍යාපනය කිරීමට කාලය අවශ්‍ය වී ඇතැයිද කීවාය.



අදාළ වාර්තාව අධ්‍යයනය කර අධිචෝදනා සංශෝධනය කළ හැකි ආකාරය සහ නඩුවෙන් මුදාහළ හැකි විත්තිකරුවන් පිළිබඳ දැනුම්දීම සඳහා මාස එකහමාරක කාලයක් ලබා දෙන්නැයි රජයේ නීතිඥවරිය ඉල්ලීමක්ද කළාය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා මාර්තු මස 14 වැනිදා නඩුව යළි කැඳවීමටද නියම කළේය.

මනෝප්‍රිය ගුණසේකර