rmv-bribe-case

මෝටර්රථයකට නව ලියාපදිංචි සහතිකයක් ලබාදීම සදහා රුපියල් ලක්‍ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට රජයේ සේවකයකු නොවන පුද්ගලයකුට එරෙහිව පවරා තිබූ නඩුවේ සාක්කි විභාගය අතරතුරදීම සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය.  වාහන ලියාපදිංචි කරදීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි වී ඇති තම සේවාදායකයා රජයේ සේවකයකු නොවන බව පවසමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරු නඩු විභාගය අතරතුරදීම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.

චෝදනා ඔප්පු කර නොමැති බව තීරණය කරමින් නඩු විභාගය අතරතුරදීම මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ සමන් කුමාර විතානගේ නමැත්තෙකි.

2018 පෙබරවාරි මස 22 වැනිදාත් 23 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිටදී ඩබ්ලිව්. පී.කේ.යූ. 0880 දරන රථයට නව ලියාපදිංචි සහතිකයක් ලබාදීමට අල්ලස් වශයෙන් සම්පත් නිරොෂ් පෙරේරා නමැත්තාගෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා 02ක් යටතේ නඩු පවරා තිබිණි.  මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී මුතුමිණ තරුෂ අනුරාධ සිල්වාට අයත් කාර් රථය අනතුරට ලක්වීමෙන් පසුව එයට වැඩි ධාරිතාවකින් යුත් එන්ජිමක් සවිකර ලියාපදිංචි කිරීම සඳහා විත්තිකරුට අල්ලස් වශයෙන් මුදල් ලබාදුන් බවද මෙම සිද්ධියෙන් පසු වාහනය ලියාපදිංචි කර වෙනත් පුද්ගලයකුට විකුණා දැමූ බවද සාක්කි ඉදිරිපත් වුවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලිපිලේඛන ඉදිරිපත් කරමින් ඇසූ හරස් ප්‍රශ්නවලදී

මේ වන විටත් අදාළ වාහනයේ හිමිකරු මුතුමිණ තරුෂ අනුරාධ සිල්වාම බවත් වාහනයේ පොතේ තවමත් ඇත්තේ පරණ එන්ජින් අංකයම බවත් හෙළි විය.

පැමිණිලිකරුගේ සහ උපාය දූතයා වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියාගේ සාක්කි පමණක් මෙහෙයවූ අතර මෙම සාක්කිකරුවන් දෙදෙනාගේ සාක්කි දෙක අතර විශාල වශයෙන් පරස්පරතා ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා තම සේවාදායකයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය. විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තීරණය කළ විනිසුරුවරයා නඩු විභාගය අතරතුරදීම සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය.
 මනෝප්‍රිය ගුණසේකර