jasinda-arden-resign

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් ලබන පෙබාවරි මාසය මුලදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව, සිය ධුරයේ තවත් වසරක කාලයක් රැඳී සිටීමට අවස්ථාව තිබියදී ඇය මෙලෙස ඉන් ඉවත්වීමට අදහස් කරගෙන තිබේ. 

ඊයේ දිනයේදී එරට රූපවාහිනිය හරහා ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරිය මේ බව සඳහන් කර සිටියාය. එසේම ලබන 2023 වසරේදී පැවැත්වීමට නියමිතව ඇති මීළග මඟ මැතිවරණය සඳහාද තමන් ඉදිරිපත් නොවන බවත් ආල්ඩෙන් මෙහිදී සදහන් කර ඇත. ඇය මෙහිදී ඉතාමත් සංවේදී ආකාරයෙන් මෙම අදහස් ප්‍රකාශ කිරීම සිදු කළාය. කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන කම්කරු පක්ෂය එම මැතිවරණයෙන්ද ජයගනු ඇතැයි විශ්වාස බව ඇය මෙහිදී පවසා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති නවසීලන්ත අගමැතිනිය තමන් ධුරය දැරූ පසුගිය වසර පහක කාලය ඉතාමත් අසීරු කාලයක් බව පවසා සිටියාය.‍



"මම දන්නවා, මේ ඉවත්වීමත් සමග බොහෝ සාකච්ඡා ඇති වේවි. ඒත් ඇත්තම කාරණාව නම් මේ ධුරයේ වසර හයක් ගතකිරීම ඉතාමත් ලොකු අභියෝගයක්. මොකද මමත් මනුස්සයෙක්. දේශපාලඥයන් කියන්නෙත් මිනිස්සු. අපි අපිට දෙන්න පුළුවන් හැමදේම දෙනවා. දෙන්න පුළුවන් කාලයක් දෙනවා. ඒත් දැන් තමයි, මට ඉවත් වෙන්න කාලය.” යනුවෙන් ඇය පවසා තිබේ.  අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව සිය දියණියගේ ඉදිරි කටයුතු සොයාබලන බව ආර්ඩේන් මෙහිදී සඳහන් කර තිබේ. ඇය මේ වසරේදී පාසල් අධ්‍යාපනය වෙත යොමුවීමට නියමිතව සිටියි. එසේම දිගුකාලයක් පුරා තම සහකරුවා වූ ක්ලාර්ක් ගේෆෝර්ඩ් හා විවාහ වීමටද අදහස් කරගෙන සිටින බවත් ඇය පවසා තිබේ.

42 හැවිරිදි වියේ පසුවන ආර්ඩෙන් 2017 වසරේදී ප්‍රථම වරට එරට අගමැති ධුරයට තේරීපත් වූවාය. අනතුරුව 2019 වසරේදී නවසීලන්තයේ සිදුවූ මුස්ලිම් ආගමිකයන්ට එරෙහි ප්‍රහාරයේදී ඇය සම්බන්ධයෙන් වන ජනතා පිළිගැනීම ඉහළයාම සිදුවිය. කෙසේ වෙතත්, 2019 වසර අවසානයේ සිට ආරම්භ වූ COVID-19 වසංගතය ඇයට දැඩි අභියෝගයක් විය.

එම කාලසීමාවේදී නවසීලන්තය වසංගතයෙන් බේරාගැනීම සදහා ඇය දැඩි පියවර රැසක් අනුගමනය කළාය. එහි ප්‍රතිඵල ලෙස පසුගිය වසරේදී පැවැති මහමැතිවරණයෙන් ඇය විශාල ජයග්‍රහණයක් ලැබීමට සමත් වූවාය. එහෙත් වසංගතයෙන් පසුව රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය සමනය කිරිම සදහා ඇය අපොහොසත් වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.