india-eggs-issue

ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමේදී ඉන්දියාවේ කිකිළියන්ට වැලදෙන වෛරස් රෝග මෙරටට පැමිණියහොත් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර ගොවිපොළවල් අනතුරකට ලක්විය හැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අදාළ අවසරය ලබානොදෙන ලෙස ඉල්ලා 17දා තම සංගමය හා බිත්තර ගොවිපොළ හිමියන් නියෝජනය කරන සංගම් නියෝජිතයන් ඒකාබද්ධ වී ජාතික සත්ත්ව ආරක්‍ෂණ  දෙපාර්තමේන්තුවට සංදේශයක් භාරදෙන බව එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.

මවු සතුන්ගේ මිල ඉහළ යාම හා කුකුළු කෑම මිල අධික ලෙස ඉහළ යාම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් 17,000කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ස්තිබෙන බවත්,

මීට අමතරව දැනට ක්‍රියාත්මක වන කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් තුළින් පවා නියමිත නිෂ්පාදනයක් සිදුනොවන බවත් හෙතෙම පවසා සිටියේය.මේ නිසා පවතින බිත්තර හිගයට දීර්ඝකාලීන විසදුම් ලෙස ගොවිපොළ හිමියන්ට අවශ්‍ය මවු සතුන් හා ආහාර සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කළහොත් දේශීය වශයෙන් නිෂ්පාදනය වන බිත්තරයක් ඉදිරියේදී රුපියල් 25ත් 30ත් අතර මිලකට මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බවද සභාපතිවරයා පැවසීය.

එසේ නොමැතිව ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට කටයුතු කළහොත් ඉන්දියාවේ කිකිළියන් අතර පැතිරයන වෛරස් රෝග මෙරටට පැමිණිය හැකි බවත්, එවන් තත්ත්වයක් ඇති වුවහොත් මෙරට බිත්තර කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩපණ විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය. පවතින තත්ත්වය තුළ බිත්තර ඉල්ලුම පවා මේ වනවිට අඩු වී තිබෙන බවත්, මේ නිසා සමහර ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල මේ වනවිට රුපියල් 46ක් දක්වා අඩු වී තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.


ඉන්දික හේවාවිතාරණ