nanu-oya-accident-family-funeral

ඊයේ (20) නුවරඑළිය, නානුඔය – රදැල්ල ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරෙන් 7 දෙනෙකු මියගිය අතර එයින් 5 දෙනෙකුම එකම පවුලක අය විය. මේ අයගේ මුස්ලිම් ආගමික නියමයන්ට අනුවඅද දිනයේම අවසන් කටයුතු සිදු කරන්නට නියමිත බව වාර්තාවේ.‍
බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) පස්වරුවේ 7.15 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරට ලක්ව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් නුවරඑළිය දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයකි.


නවතා තිබූ වෑන් රථය හා ත්‍රීරෝද රියක් හප්පාගෙන බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ප්‍රපාතයකට ඇදී ගොස් තිබුණි.
අනතුරින් වෑන් රථයේ සිටි 06 දෙනෙකු සහ ත්‍රි රෝද රථයේ රියදුරු මියගොස් තිබුණ අතර පාසල් සිසුන් 41 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය වෑන් රථයේ රියදුරු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ත්‍රී රෝද රථයේ රියදුරුද නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය ඉතිරි 5 දෙනාම අයත්වන්නේ එක පවුලකටය.
වයස අවුරුදු 8 සහ 12 ගැහැණු දරුවන් දෙදෙනෙක්,  වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක් , අවුරුදු 26 පිරිමියෙකු හා වයස අවුරුදු 43ක කාන්තාවක එකම පවුලේ පස් දෙනොට අයත්විය.

වෑන් රථයේ ගමන් කරමින් සිටි ගණන 9 ක් වූ අතර එම පවුලට සම්බන්ධ තවත් තිදෙනෙකු තුවාල ලබා ජීවිත බේරාගෙන තිබුණි.
ඔවුන් හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි අය වන අතර රෝගී තත්ත්වයෙන් පසුවන නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි තම ඥාතියෙකුගේ සුවදුක් බැලීම සඳහා ඔවුන් වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී අතරමග නවතා ගිමන් හරින අතර මෙම අනතුරට ලක්ව ඇත. අනතුරෙන් මිය ගිය එකම පවුලේ 05 දෙනාගේ අවසන් කටයුතු දික්ඔය  ජුම්මා පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් පවසා තිබේ.