cholera-continues-to-threaten-many-african-countries

දශක දෙකකට පසු දරුණුතම කොලරා රෝගයේ පැතිරීමක් අප්‍රිකානු කලාපයේ වාර්තාවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය වසරවලට සාපේක්ෂව දෙසැම්බර් මාසයේ සිට රටවල් 31 කින් සියයට 50 ක වර්ධනයක් වාර්තා වී ඇති බවයි. එම රටවල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක්  එනම් 14 ක් පමණ අප්‍රිකාවේ ඇත.


එයිනුත් මලාවි රාජ්‍යය දරුණුම පැතිරීම වාර්තා කර තිබේ. වසර විස්සකට පසු එහි දරුණුතම කොලරාව පැතිරීම සමඟ සටන් කරයි. පසුගිය මාසයක කාලයක් තුළ අප්‍රිකානු කලාපයේ කොලරා මරණ 1000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී ඇති අතර මලාවි පමණක් 750 පමණ වාර්තා කර තිබේ.

රෝගීන් අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර මලාවි සෞඛ්‍ය අමාත්‍ය කුම්බිසේ කන්දෝඩෝ චිපොන්ඩාට අනුව, සමහර ප්‍රදේශවල අඛණ්ඩව දිනපතා රෝගීන් රෝහල් ගතවන බැවින් රෝහල් තුළ තදබදයක්ද හටගෙන ඇත. රෝගය දැනුවත් කිරීමට දරන උත්සාහය තවම සාර්ථක නැති බවද ඔහු පවසයි.
කොලරාව නැවත පැතිරීම පසුගිය වසරේ මාර්තු මාසයේදී එරට ප්‍රකාශයට පත් කරන ලදී. මේ වන විට බලධාරීන් ලියාපදිංචි රෝගීන් 23,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇත.

“අපිට කොලරා එන්නත මිලියන 2.9 ක් ලැබුණා, අපි සාර්ථකව ඒවා බෙදාහැරියා.  40,000 ක් පමණ ඉතිරිව තිබෙනවා. එයින් අදහස් වන්නේ මලාවි ජාතිකයන් එන්නත ලබා ගත් බවයි. කෙසේ වෙතත් කනස්සල්ලට කරුණ නම් එන්නත ලබා ගත් අය වැඩි අවදානමක් ඇති අය නොවීමයි. ඉහළ අවදානමක් ඇති අයට එන්නත ලබා ගැනීමට ඒත්තු ගැන්වීම දුෂ්කර  වී ඇත," අමාත්‍යවරයා පැවසීය.