
රිළවුන් කඩා දමන ලද විදුලි රැහැනක් මල් ගසක් මතට පතිත වී තිබිය දී පූජා කිරීම සඳහා මල් කැඩිමට ගිය අවුරුදු 75 ක් වයසැති එක් දරු පියකු විදුලි සැර වැදී ඉකුත් (18) වැනිදා උදේ මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි. මෙලෙස විදුලි සැර වැදී එතැනම මියගොස් ඇත්තේ
මහව, කෝන්වැව, කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචි නිශ්ශංක ආරච්චිලාගේ සිරිසේන නමැත්තකු බව පොලිසිය කියයි. මෙම තැනැත්තා එදින උදේ 6.45 ට පමණ මිදුලේ වැට අද්දර ඇති මල් ගසක මල් කැඩීමට ගොස් මල් කඩන අතරවාරයේ දී එකවරම බිම ඇද වැටෙණු දුටු නිවසේ සිටි ඥාති දියණියක ක්ලාන්තයක් සැදෙන්නට ඇතැයි සිතා කෑ ගසාගෙන දිව ගොස් වැටුණු තැනැත්තා එසවීමට තැත් කිරීමේ දි ඇයටත් විදුලිය වැදී ඉවතට විසිවී ඇතත් ඇයට ඉන් කිසිදු හානියක් සිදු නොවූ බව පවුලේ අය කීහ.
ඉන් පසුව අවට පරීක්ෂා කිරීමේ දී රිළවුන් විදුලි රැහැන් මතින් යාමේ දී එක් රැහැනක් කැඩී මල් ගස මතට වැටී එය අසල තිබූ කම්බි වැටේ පැටලී ඇති බවත් එම කම්බි වැට මොහුගේ කකුලේ පැටලී කාන්දු වූ විදුලිය වැදී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මියගිය අයගේ සිරුර එම ස්ථානයේම තිබියදී ප්‍රදේශවාසීන් සිද්ධිය පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව එතැනට ගොස් මරණ පරීක්ෂණය පවත්වන තෙක් එතැනට ආරක්ෂාව යොදා ඇති බවත් පොලීය පවසයි. සිද්ධිය සම්බන්ධව මහව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සිසිර කැලේගම
Comments
Post a Comment
Your comment will be visible after approval