liquer-sticker-cid

මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සිදුකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලිපිටිය මහතා පවසයි. 

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19දා) මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් පිළිබඳ පසුගිය සතියේ කතාබහට ලක්වූ සිද්ධියක්. ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා. ඒ අනුව අපි තීරණය කළේ, විශේෂයෙන්ම පිටත තිබී අසුවූ ස්ටිකර් සම්බන්ධයෙන්, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර, මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටීමටයි. දෙවැනි කරුණ බෝතල්වල අලවා තිබූ සමහර ස්ටිකර් පිළිබඳ ඇතිවුණු අපහැදිලිතාව පැහැදිළි කර ගැනීමයි.

ඒ සඳහා විශේෂයෙන්ම එම ස්ටිකර්වල  විද්‍යුත් ඇගයීම නැත්නම් (Digital Indication) ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදුවෙනවාද කියන කරුණ  සොයා බැලීම සඳහා වෝහාරික පරීක්ෂණයක් අදාළ විදේශීය ආයතනයකින් සතියක් තුළ සිදුකර, පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමයි.

මීටත් අමතරව මේ ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක වීම, මේ තුළින් නිසියාකාර ආදායම් ලැබීම පිළිබඳ නිතිපතා සොයා බැලීමට නිශ්චිත පරීක්ෂණ කණ්ඩායමක් සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් යෙදවීමට සහ ඔවුන්ගෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතාම ඉක්මනින් නිවැරදි කරලා රාජ්‍ය ආදායම නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමටත්, අනෙක් පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්ත ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව අපි විශ්වාස කරනවා.” යැයි පවසා සිටියේය.


ෂමිල පෙරේරා