kegalle-incident

කෑගල්ල දැදිගම පොලිස් වසමේ විදුහලක දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ මුහුණ සිප ගත් බවට එම සිසුවාගේ මව විදුහල්පතිවරයාට එරෙහිව පැමිණිල්ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (18) පැවසීය.  මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන සිසුවාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විදුහල්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා සිගරැට් පානය කර පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත සිගරැට් ගඳ වහනය වන්නේ දැයි යන්න සොයා බැලීමට එසේ කළ බව විදුහල්පතිවරයා පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. සිසුවා සිගරැට් පානය කර නොමැති බව එම පරීක්ෂාවේ දී අනාවරණය වූ බව ද විදුහල්පතිවරයා පොලීසියට පවසා ඇතැයි දැනගන්නට ඇත.එසේ නොමැතිව වෙනත් අරමුණකින් එසේ නොකළ බවද විදුහල්පතිවරයා වැඩිදුරටත්  පොලිසියට පවසා ඇති බව ද කියති.

සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්ම රත්න මහතාගේ අධීක්ෂණය යටතේ කෑගල්ල කොට්ඨාසය බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත කෑගල්ල සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දැඩිගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
 

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය