new-minister-pavithra-jeewan

අද නව කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ. අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් ඇමතිවරුන් වූයේ පවිත්‍රාදේවි වන්නිආරච්චි හා ජීවන් තොන්ඩමන්ය.
පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට් අමාත්‍ය ධූරයෙහිත්, ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතලපහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයෙහිත් මෙලෙස දිවුරුම් දෙනු ලැබූහ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. පවිත්‍රාට වනජීවි විෂයය ලබාදීම පිනිස අද මහින්ද අමරවීර මහතා එම කැබිනට් තනතුර අත්හළ නමුත් ඔහුගේ අනෙක් අමාත්‍යංශ ඉතිරි කරගෙන තිබේ. පොහොට්ටුව හා එජාපය එක්වීමේ ගිවිසුමේ එක් රහස් පොරොන්දුවක් ලෙස මෙම ඇමතිධූර පිරිනැමීම සිදුවන බවට දේශපාලන ආරංචි පවතී.


මීට අමතරව පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බවද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු දිවුරුම්දීමට නියමිතය.ජොන්ස්ටන් මහින්දානන්ද රෝහිත අබේගුණවර්ධන ඇතුළු නමගිය ඇමතිවරුන්ද පොරොත්තු ලේඛනයේ සිටිති.
වරාය, මහාමාර්ග, ක්‍රීඩා, ප්‍රවාහන, කර්මාන්ත, විදුලිබල, ජනමාධ්‍ය, ආයෝජන ප්‍රවර්ධන හා ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතය. දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඉවත් කිරීමට නියමිතය. පසුගිය ආණ්ඩු සමයේ තමාට හිමි අමාත්‍යාංශවල වැඩ කළ අමාත්‍යවරුන් නව කැබිනට මණ්ඩලයට එක්කිරීමට නියමිතය.