hospital-charges-national-hospital

පෞද්ගලික රෝහල්වල ගාස්තු හා ඖෂධ මිල ගණන් ඉහළයාම හේතුවෙන් මේ වන විට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.  මේ හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකවලට මෙන්ම සායන සඳහා ද පැමිණෙන රෝගීන් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රෝහල් කිහිපයකින්ම අප කළ විමසීම්වලදී අනාවරණය විය. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමේදී වෛද්‍යවරයා චැනල් කිරීමේ ගාස්තු මෙන්ම ඖෂධ මිල ගණන් ද වැඩිවීම හේතුවෙන් බොහෝ දෙනෙක් රජයේ රෝහල් වෙත යොමුවීම මෙම තත්වයට හේතු වී තිබේ.



කොළඹ ජාතික ඇතුළු රෝහල් රැසකම බාහිර රෝගී සායනවලට පැමිණෙන රෝගීන්  සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලේ ද බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් සංඛ්‍යාවේ සාපේක්ෂ වැඩිවීමක් පවතින බව එහි ප්‍රකාශකයකු කීය. රෝගී වාට්ටුවල සියලු ඇඳන් පිරීගොස් තිබෙන බව ද එම ප්‍රකාශකයා පැවසීය. රෝහල්වල ද මේ වන විට පවතින ඖෂධ හිඟය හේතුවෙන් එලෙස පැමිණෙන රෝගීන් ද අපහසුතාවට පත්වන අවස්ථා ඇති බවත්, කොළඹ ජාතික රෝහලේ පවා ඉන්සියුලීන් ආදී ඖෂධවල හිඟයක් පවතින බවත් රෝගීහු පවසති.මේ දිනවල පවතින ජීවන වියදම ඉහළයාම නිසා පිටතින් ඖෂධ මිලදී ගැනීමට සිදුවීමෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවට රෝහල් සායන වෙතට පැමිණෙන රෝගීහු සඳහන් කරති.


ඩයනා උදයංගනී