government-service

දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ යූරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. පසුගිය යල කන්නයේදී හා මෙවර මහ කන්නයේදී යූරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල් බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බව අමාත්‍යවරයා කීය.එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවකයන්ට නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිත කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම,

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

2023 වසර සඳහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන ලද කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව කීය. මාස් කන්නයේ වී අස්වනු නෙළීම ලබන සතිය අවසන් වන විට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වන බැවින්, වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10කවත් මුදලක් අවශ්‍ය වනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය. අදාළ මුදල් ලබා දෙන ලෙස ඉල්ලා තමන් අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව බොහෝ දුරට ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න