akuressa-incident

මවුපියන්ට සලකා තමාගේ සිහින ලෝකය ගොඩනගා ගැනීමට සරිලන රැකියාව සොයා ගැනීමට නොහැකි යැයි ලිපියක් ලියා ඇති අකුරැස්ස පරදුව ප්‍රදේශයේ 29 හැවිරිදි තරුණයකුගේ සිරුර නිවසේ නිදන කාමරයේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව අකුරැස්ස පොලිසිය කියයි.විදේශ රැකියාවක සිහිනය සැබෑ කරන්නට වෙරදැරූ 29 හැවිරිදි තරුණයකු අකුරැස්ස රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු පැවසූහ.මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කසුන් අංජන ජයසිංහ (29) නමැති ස්ථිර රැකියාවක් නොමැති තරුණයකු බව පොලිසිය කියයි.



පෙදරේරුවකුගේ අඋදව්වට ගොස් කෙසේ හෝ ජීවිතය ජය ගැනීමට වුවත් කොරියන් විභාගයෙන් ලකුණු පහක් අහිමිවීමේ දුක සිත්තැවුල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.පවුලේ බර කර මත තබා ගත් සිය පුතා මවුපියන්ට සලකන්නට නොහැකිවීම ගැන ඉතාම දුකින් කටයුතු කර ඇතැයි මව පොලිසියට කියා ඇත. සිය බාල සොහොයුරන්ගෙන් එක් සහෝදරයකු භාණ්ඩ බෙදාහැරීමේ තාවකාලික රැකියාවක යෙදෙන අතර අනෙක් සහෝදරයා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවට හෙළිවී යැයිද පොලිසිය කියයි.සිය මිතුරන් සමග පෙරදින ක්‍රිකට් ක්‍රීඩා කර ඇති හෙතෙම පියා හා මව දෛනික කුඩා කුලි වැඩකට ගොස් සිටි බවත් මවට ලැබුණු තොරතුරක් මත පැමිණෙද්දී නිවසේ දොර වසාගෙන මියගොස් සිට ඇති බවත් මවුපියන් රැකබලා ගන්නට සලකන්නට සුදුසු රැකියාව නොලැබීම නිසා පෙරදින මහණ වෙන්නට පන්සලකට යන බවත් මව පවසා ඇති බව පොලිසිය කියයි.



සිය බාලම සොහොයුරා සමග දහවල් බනිස් ගෙඩියකින් බඩ පුරවාගෙන මල්ලි පන්ති ගිය අතරතුර මව්පියන් රැකබලා ගැනීමට හරිහමන් රැකියාවක් නොමැති බව සඳහන් කරමින් සිය අත් අකුරින් ලිපියක් ලියා තබා ඇති බව පොලිසිය කියයි. මළ සිරුර අකුරැස්ස රෝහලේ තැන්පත් කර තිබූ අතර හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර රෝහලට රැගෙන ගොස් තිබිණි. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර ජයවීර මහතාගේ උපදෙස් මත සැරයන් 42506 රවින්ද්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරති.

ප්‍රියන්ත දසනායක