galle-arabic-school-incident

ගාල්ල ප්‍රදේශයේ අරාබි පාසලක අරාබි නීතිය හදාරනු ලබන 15 හැවිරිදි බාල වයස්කාර සිසුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන එහි විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට ගාල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වයි. 

මෙම විදුහලේ විදුහල්පතිවරයා සිසුවාට ලිංගික අපයෝජනයක් කර ඇති බව එම සිසුවා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහර කෑම්වලට සහ ලිංගික අපයෝජනයකට ලක්වූයේ යැයි කියන සිසුවා ඒ පිළිබඳව පොලිසියට පෙරේදා (23) පැමිණිලි කර ඇත.

පැමිණිල්ල කළ සිසුවා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අයෙකි.  මෙම සිසුවාට එහි ඉගෙනුම ලබන වෙනත් සිසුවකු ද ඉකුත් වසරේ දෙසැම්බර් 27 වැනිදා රාත්‍රියේ අතින් පයින් පහරදී බෙල්ල මිරිකා ඇතැයි පොලිසිය පවසයි. සිසුවා මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට විදුහල් භූමියේම පිහිටි විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

එම අවස්ථාවේ විදුහල්පතිවරයා එම සිසුවා උඩුමහලේ පිහිටි කාමරයකට රැගෙන ගොස් හිසට සහ ගෙල ප්‍රදේශයට වේවැලකින් දිගට හරහට පහරදීමක් සිදුකර ඇතැයි සිසුවා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.විදුහල්පතිවරයාගෙන් ගැලවී එළියට පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම සිසුවාට කාමරයකට රැගෙන ගොස් පහරදීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන්  කරයි.

සිසුවා දින පහක පමණ කාලයක් පාසලේ කාමරයක රඳවා තබාගෙන සිට පසුව රුපියල් 3000ක මුදලක් ලබාදී නිවෙසට පිටත් කර හැර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම සිසුවා ගාල්ලේ සිට කොළඹට දුම්රියකින් පැමිණ පසුව බස් රථයකින් ත්‍රිකුණාමලයට ගොස් තමාට සිදු වූ කරදර හිරිහැර ගැන මවුපියන්ට පවසා ඇත.  මවුපියන් සිසුවා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය රෝහල් පොලිසියටත් ත්‍රිකුණාමල පොලිස් අධිකාරී කාර්යාලයට සහ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටත් පැමිණිලි කර ඇත. සිසුවා කළ මෙම පැමිණිල්ල අනුව විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය