gampola-atm-theft

ගම්පොල හැටන් නැෂනල් බැංකු ශාකාවට අද  අලුයම මුහුණු ආවරණ පැළඳගත් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණ මුදල් ඇතුලේ පුරවා ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් පිටින්ම සොරකම් කරගෙන පළාගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අද අලුයම 12.40 ට පමණ මෙම පිරිස ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය ගලවා සොරකම් කර ඇත්තේ වෑන් රථයකින් පැමිණ බැංකුවේ ආරක්‍ෂක නිලධාරියා බැඳ දැමීමෙන් පසුවය.



මේ අතර කොල්ලකෑම සඳහා යොදාගත් වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පසුව සොයාගෙන තිබේ.
වෑන් රථයේ රියදුරු වාහනය තුළ ගැට ගසා සිටියදී සොයා ගත් බවද වාර්තා විය.

කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් පැමිණි  මෙම කොල්ල කල්ලිය මිනිත්තු 10ක් වැනි කෙටි කාලයත් ඇතුලත මෙම කොල්ලය සිදුකර ඇත. මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රය සොලවා එය සවිකර ඇති ඇණ ගලවා යන්ත්‍රය උස්සාගෙන ගොස් වෑන් රථයේ පටවාගෙන තිබේ.

මෙම යන්ත්‍රයේ තිබුණු තැන්පතු මුදල් ඊයේ උදෑසන ඉවත්කර තිබුණ බවත් එම යන්ත්‍රය සොරා ගන්නා විට එහි තිබී ඇත්තේ ඊයේ දවස තුළ ගණුදෙනුකරුවන් තැන්පත් කළ මුදල් පමණක් බවත් බැංකු නිලධාරීන්ගේ සාක්ෂි මත විමර්ශන වලින් පෙනී ගිය බව ගම්පොළ පොලීසිය කියයි.

ආරක්ෂක කැමරා දත්තඅනුව  විමර්ශනයක් සිදු කර තිබේ.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගම්පොළ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.