election-january

පළාත් පාලන ඡන්ද විමසීම සදහා නාම යෝජනා බාර ගැනීම මේ මස 18 වැනි දින සිට 21 වැනි දින දහවල් 12 දක්වා සිදු  කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.  එම ඡන්ද විමසීම සඳහා ඇප මුදල් බාර ගැනීම ඊයේ (4) දා සිට මේ මස 20 වැනි දින දක්වා සිදු කරන බව ද එම කොමිෂන් සභාව කියයි.



ඇප මුදල් බාර ගැනීම පෝය දිනවල සහ ඉරිදා දිනවල සිදු නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මහ නගර සභා 24 ක් නගර සභා 41 ක් ප්‍රාදේශීය සභා 275ක් හෙවත් පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් එම ඡන්ද විමසීම පැවැත් වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම් 2019 වසරේ පැවැති අතර එම සභාවේ නිල කාලය අවසන් නොවීම නිසා මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඡන්ද විමසීම නොපැවැත්වෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

නාම යෝජනා බාර ගැනීම අවසන් වූ වහාම මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද විමසීම දැන්වීම නිකුත් කරන අතර එම දැන්වීම නිකුත් කර සති 5ක් 7ත් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ සඳහන් වේ. පළාත් පාලන ඡන්ද විමසීම සෙනසුරාදා දිනයක පැවැත්වීම වඩාත්  සුදුසු බවද එම පනතේ සඳහන් කර තිබේ.පළාත් පාලන ඡන්ද විමසීම බොහෝ දුරට මාර්තු මස මැද දී පැවැත්වෙනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.


රංජන් කස්තුරි