eggs-price

බිත්තර සඳහා පාලන මිලක් නියම කළද, ඊයේ (22දා) දිනයේදී ලංකාවේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 55ත් 60ත් අතර මුදලකට බව ජනතාව සදහන් කරති. එසේම පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කරන පිරිස්වලට නීති මගින් කටයුතු කරන බවත්, මීට අදාළ වැටලීම් ආරම්භ කර තිබෙන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් 20වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත්, ඒ අනුව සුදු බිත්තරයකට රුපියල් 44ක සහ දුඹුරු බිත්තරයකට රුපියල් 46ක උපරිම මිලක් පැන වූ බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.

මේ අනුව නිෂ්පාදකයන්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්,වෙළෙදුන් මෙම මිල ගණනවලට අනුව පාරිභෝගික ජතනාවට බිත්තර ලබාදිය යුතු බවත්, මෙම මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන පිරිස්වලට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් එම අධිකාරිය පවසයි.

කෙසේ නමුත්, බිත්තර නිෂ්පාදනය සදහා යොදාගන්නා අමුද්‍රව්‍යවලට පාලන මිලක් නියම කර බිත්තර සදහා පාලන මිලක් නියම කිරීම තුළින් දේශීයව ක්‍රියාත්මක වන බිත්තර ගොවිපොළවල් සියල්ලම වැසී යන තත්ත්වයකට පත් වන බව බිත්තර නිෂ්පාදන ගොවිපොළ හිමියන්ගේ සංගම් සදහන් කරයි. රුපියල් 100කට අලෙවි වූ කුකුළු පැටවෙකුගේ මිල මේ වනවිට රුපියල් 700ක මිලක් ගෙන තිබෙන බවත්, රුපියල් 140කට අලෙවි වූ කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.



මීට අමතරව බිත්තර නිෂ්පාදන කටයුතු සදහා ඇති කරන කිකිළියන්ට ලබාදෙන ඖෂධ වර්ගවල මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ගොන්පොළවලින් විශාල ප්‍රමාණයක් මේ වනවිට වැසී ගොස් තිඛෙන බවත් එම සංගමයේ සභාපති කල්‍යානි ජයතිලක මහත්මිය සදහන් කළාය. මෙම ජාවාරම් ක්‍රියා නවතා දමා සාධාරණ මිලකට ආහාර, ඖෂධ හා මව් සතුන් ලබාදීමට කටයුතු කළහොත් බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර මුදලකට ලබාදිය හැකි බවත්, ඒ සඳහා බලධාරීන් ඒ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්  ඒ මහත්මිය පවසා සිටියාය.

අමුද්‍රව්‍ය මිල පාලනය නොකර සුදු පැහැති බිත්තරයක් සඳහා රුපියල් 44ක පාලන මිලක් නියම කිරීම නිසා හා රතු පැහැති බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් නියම කිරීම නිසා දැනට ක්‍රියාත්මක වන ගොවිපොළවල් ටිකත් වැසී යාමට හැකි බවද සභාපතිවරිය පැවසුවාය. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 48ක පමණ මුදලක් වැය වන බවත් මේ නිසා බිත්තරයක් නිෂ්පාදනය කිරීමට යන වියදම අඩු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවද ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. විදේශ රටවලින් අඩු මුදලට ගෙන එන බඩඉරිඟු කිලෝවක් රුපියල් 300ක මුලකට අලෙවි කරමින් තිබෙන බවද එම සංගමයේ සභාපති සංජීව ධම්මික මහතා පවසා සිටියේය

ඉන්දික හේවාවිතාරණ