china-fruit-sri-lanka

මෙරට වගා කරන පලතුරු චීනයට අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 

ඒ අනුව මෙරට කෙසෙල් චීනයට අපනයනය සඳහා වසර ගණනකට පෙර චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් කර ඇති නමුත්, මෙතෙක් ක්‍රියාත්මක නොවූ අවබෝධතා ගිවිසුම පිළිබඳ අවධානය යොමු කිර්මටත් එසේම එම වැඩපිළිවෙළ යළි ඇරඹීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ පිළිබඳ වූ පූර්ව සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ චීන නියෝජිත පිරිසක් අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පවත්වා ඇති අතර, එහිදී අදාළ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ, මෙරට කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳ පොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්තා අනුව මේ වනවිට මෙරට වගා කෙරෙන කැවෙන්ඩිෂ් කෙසෙල් විශේෂය මෙන්ම අන්නාසි, අඹ, ෆැෂන් ෆෲට්, ඇඹුල් කෙසෙල් සහ කටු අනෝදා විවිධ රටවල ජනප්‍රියව පවතින බැවින් මෙරට පෞද්ගලික ආයතන රැසක් එම පලතුරු අපනයනයෙහි  නිරතව සිටියි.

නිදර්ශනි වික්‍රමසිංහ