
නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය' (එච්. අයි.එස්.) මිලදී ගැනීමට එම රෝහලේ නිලධාරීන් 15 දෙනකු පමණ ඉන්දියාවට ගොස් ඇති බවට එහි සේවකයෝ චෝදනා කරති.එම නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්‍ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය මෙවැනි දෙයට යොමුවිය යුතු බවත් සේවකයෝ කියති.
එම කටයුත්ත සඳහා උපරිම වශයෙන් නිලධාරීන් සිවුදෙනකු සහභාගි වූයේ නම් ප්‍රමාණවත් බව කියන සේවකයෝ මෙවැනි පිරිසක් පරිගණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බව ද සඳහන් කරති. පහළ මට්ටමේ සේවකයන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇති පාලන අධිකාරිය එම මුදල් යොදාගෙන රට සවාරි යැම අනුමත කළ නොහැකි බව කියන සේවකයන් පවසන්නේ මෙවැනි නාස්තීන් නැවැත්වීමට බලධාරීන් මැදිහත්විය යුතු බවය. මෙම සිද්ධිය පිළිබඳව කරුණු දැනගැනීමට එම රෝහල් බලධාරියකු දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම රෝහලේ දුරකථන අංශය බලධාරියකුට යොමු කිරීම හැරියේය.
යොහාන් භාසුර
Comments
Post a Comment
Your comment will be visible after approval