afghanistan-mannequins-heads-covered-across-kabul-under-taliban-rule

ඇෆ්ගනිස්තානයේ  කාබුල් අගනුවර කාන්තා ඇඳුම් පැළඳුම් අලෙවි සැල් සියල්ලගේම පාහේ පිහිටුවා ඇති විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු ගලවා ඉවත් කිරීමට හෝ ඒවා කළු පැහැති මලුවලින් වැසීමට එම අලෙවිසැල් හිමිකරුවන් මේ දිනවල කටයුතු යොදමින් සිටින බව වාර්තා වෙයි.එරට පාලනය හිමි තලේබාන් සංවිධානය පසුගියදා ලබාදුන් නියෝගය මත එම අලෙවිසැල් හිමිකරුවෝ මෙම පියවර ගනිමින් සිටිති. විශේෂයෙන්ම තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය තුළ ගෙනයන දැඩි ඉස්ලාම් ආගමික තීන්දු තීරණ යටතේ කාන්තාවන් සදහා පනවා ඇති නීති මෙම නිරූපණ අනුරූ සඳහාද පොදුවීම ඊට හේතුව වී තිබේ.



තලේබාන් සංවිධානය 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය සියතට ගත් අතර, අද වනවිට මැතිවරණයකින් තොරව පිහිටුවා ගත් රජයක් යටතේ රට පාලනය කිරීමේ නිරත වෙයි.ඒ අනුව එරට උගත් සහ සදාචාර නියමයන් පිළිබඳ අමාත්‍යාංශයේ නියමය යටතේ මෙලෙස සියලුම නිරූපණ අනුරූ සියල්ලම කඩසාප්පුවල ඉදිරි පිටින් ඉවත් කිරීම, ඒවායේ හිස් ගලවා ඉවත් කිරීම හෝ වෙනත් ක්‍රමයක් මගින් එම හිස් ආවරණය කිරීම සිදුකළ යුතු බව දැනුම් දී තිබේ.අද වනවිට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ වැසෙන සේ බුර්කාව පැලඳීම අනිවාර්යය කෙරී තිබේ. එසේම කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවද තලේබාන් සංවිධානය විසින් මේ වනවිට අත්හිටුවා තිබේ.

මෙලෙස තලේබාන් සංවිධානයේ මෙම දැඩි තීරණ පිළිබිඹු කරන ඇදුම් අලෙවි සැල් බොහෝමයක්ම කාබුල් අගනුවරදී දැකගත හැකිය.ඇතැම් අලෙවිසැල් හිමිකරුවෝ පසුගිය කාලයේදී මේ නීතියට එරෙහිව සිය අදහස් දැක්වූහ. විශේෂයෙන්ම මෙලෙස එම විලාසිතා නිරූපණ අනුරූ අලෙවි සැලේ ඉදිරිපිටින් ඉවත් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඇදුම් පාරිභෝගිකයාට නිසි ලෙස ප්‍රදර්ශනය නොවන බවත්, ඒ නිසා ආදායම් අහිමි වන බවත් ඇතැමුන් පවසා තිබුණි.  ඒ අනුව තලේබාන් සංවිධානය සිය නීති ලිහිල් කරමින් අලෙවිසැල් ඉදිරිපිට පිහිටුවන මෙවැනි අනුරූවල මුහුණ ඉවත් කරන ලෙස හෝ වසා දමන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර තලේබාන් සංවිධානයේ නීතියට ගරු කරමින්, සිය ව්‍යාපාරික කටයුතුද පවත්වාගෙන යාමට මෙම අලෙවි සැල් හිමිකරුවන් අද වනවිට වෙනත් උපායමාර්ගික ක්‍රමවේද වෙත යොමු වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  එහිදී උදාහරණයක් ලෙස, මැද පන්තියේ පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය කඩපෙළක් වන කාබුල් අගනුවර ලයිසී මාර්යාම් මාවතේ පිහිටි කඩසාප්පුවල හිමිකරුවන් මේ වනවිට සිය විලාසිතා නිරූපණ අනුරූවල මුහුණු විවිධ මුහුණු ආවරණ යොදා ගනිමින් වසා දමා තිබේ.

එසේම ඇතැම් සාප්පු එම අනුරුවට අන්දවා ඇති සාම්ප්‍රදායික ඇඳුමින්ම මැසූ ආවරණයකින් එම හිස වැසීමට කටයුතු යොදා තිබෙන ආකාරයද දැකගත හැකිය.

"මට බෑ කැතම කැත කුණු අදින කළු පාට බෑග්වලින් මේ මුහුණු වසන්න. මොකද එතකොට මගේ සාප්පුවේ වීදුරුව කැතටයි පේන්නේ.” යනුවෙත් මෙම වීදියේ සාප්පුවක හිමිකරුවෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. විශේෂයෙන්ම අද වනවිට ඇෆ්ගනිස්තානය මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයත් සමගින්ම ජනතාවට ඇඳුමක් මිලදී ගැනීම සඳහා වන අවශ්‍යතාව ඇති කරවන මෙවැනි ප්‍රදර්ශනාත්මක අංග වෙත නීති පැනවීම සුදුසු නොවන බව මෙම කඩ සාප්පු හිමිකරුවන්ගේ අදහස වී තිබේ. එහෙත් තලේබාන් සංවිධානයට දක්වන බිය නිසා ඔවුහු ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව අදහස් නොදක්වති.

“අද මංගල ඇඳුමක්, සවසට අඳින ඇඳුමක් හරි සාම්ප්‍රදායික ඇඳුමක් හරි මිලදී ගන්න එක නෙමෙයි ඇෆ්ගනිස්තාන ජනතාවගේ ප්‍රමුඛතාව වෙන්නේ.

ඔවුන් දැන් ආහාර සහ සුරක්ෂිතවීම ගැන තමයි, වැඩිම අවධානය යොමු කරන්නේ, මේ නිසාම අද අලෙවිය භාගෙට භාගයක් අඩුවෙලා.” කඩසාප්පු හිමිකරුවන් පවසයි. මේ අතර, තලේබාන් සංවිධානය මගින් පනවා ඇති මෙම නීතිය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇෆ්ගනිස්තාන කාන්තාවක්,

“මේ රෙදි සාප්පු ඉදිරිපිටට ගිහිල්ලා ඒවා දිහා බලන කොට මට දැනෙන්නේ හරියට මේ වීදුරු පිටිපස්සේ මම ඉන්නවා වගේ හැඟීමක්.” යනුවෙන්ද විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.