doctor-wife-issue

රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයකු සිය තරුණ බිරියට දතක් කැඩියාමට පහරදී ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ තිස්තුන් හැවිරිදි එක්දරු මවක බවද පහරකෑමෙන් තුවාල ලබා ඇති ඇය ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඇතුළත්ව ඇතැයිද පොලිසිය කියයි.  දැනට කුලියට දී ඇති කෝටි ගණනක් වටිනා නිවෙසක් තමාගේ පරිහරණයට ලබාදෙන ලෙසට වෛද්‍යවරයා සිය බිරියට බලපෑම් කිරීමේ සිද්ධියක් දුරදිග යාම මෙම පහරදීමට හේතුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.වෛද්‍ය බිරිය අවුරුදු එකහමාරක් වයසැති තම එකම දරුවාද වඩාගෙන ගෙමිදුලේ සිටියදී වෛද්‍යවරයා ඇයට පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කියයි.



පහරදීම සිදුවන අවස්ථාවේ වෛද්‍යවරයාගේ මව සහ ඔහුගේ සොහොයුරියක වෛද්‍යවරයාගේ නිවසේ සිට ඇති බව ද වෛද්‍යවරයාගේ පහරදීම ඉවසාගත නොහැකිව වෛද්‍ය බිරිය සිය අතදරුවා ද වඩාගෙන නිවාස පරිශ්‍රයෙන් පිටත්ව ජීවිතාරක්ෂාව පතා දිවගොස් ඇති බවට මේ පිළිබඳව ලැබුණ පැමිණිල්ලේ දැක්වෙන බව පොලිස් නිලධාරීහු පවසති. වෛද්‍ය බිරිය ජීවිතාරක්ෂාව පතා දිවයද්දී වෛද්‍ය බිරියගේ නැන්දම්මා සහ නෑනා ඇය නිවසේ ගේට්ටුව අසලදී අල්ලාගෙන ඇයට තව තවත් පහර දෙනතුරු අල්ලා රඳවාගෙන සිට ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බවද පොලිසිය කියයි. වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක හා නිලධාරියකු වෛද්‍යවරයාගේ නිවෙසට ගොස් ඇතත් වෛද්‍යවරයා නිවෙසේ සිට නොමැති බවද පැවසෙයි.

එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන