thilak-siriwardane-doctor

වායුගෝලයේ දූවිලි තත්වය ගැන අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මෙසේ පවසයි.

වායුගෝලයේ දැනට පවතින්නා වූ දූෂිත මට්ටමේ වායු තත්ත්වය පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් එල්ල කරනවා. විවිධාකාරයෙන් මෙහි බලපෑම් සිදුවිය හැකි සමාජයේ විවිධ කණ්ඩායම් ඉන්නවා. මෙහි අහිතකර බලපෑම වැඩියෙන්ම ඇතිවෙන්නේ නිධන්ගත ශ්වසන රෝගාබාධ ඇති අයටයි. ඒ වගේම වෙනත් බෝ  නොවන රෝග ඇති අයටත් මෙහි බලපෑමක් තිබෙනවා. ගර්භිණී මවුවරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් හා සංවේදී පුද්ගලයන්ටත් මෙහි බලපෑම ඉහළයි. මේ අයට වැලදිය හැකි ලෙඩරෝග තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සහ බෝ නොවන රෝග. එනම් හෘදයාබාද හා අංශභාග තත්ත්වයන් පවා මේ අංශු නිසා ඇතිවිය හැකි බවට ලෝකයේ සිදුකළ පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ශ්වසන ආබාධ තිබෙන අයට ජීවිත තර්ජන පවා ඇති විය හැකියි.




මෙය වළක්වා ගැනීමට නම් ,

• අපි පවතින තත්ත්වය තව වැඩි කරන ආකාරයේ සම්මාදම් ක්‍රියාවන්ගෙන් වැළකිය යුතුයි.

•ඒ අනුව පරිසරයට එකතු කරන දුම් වැනි අහිතකර ද්‍රව්‍ය එකතු කිරීමෙන් වැළකීම, කුණු ගිනි තැබීම්, දර භාවිතයෙන් පිසීම් මෙන්ම අනවශ්‍ය ගිනි තැබීම් සිදුකිරීමෙන් තත්ත්වය තවදුරටත් දරුණු විය හැකියි. දූවිලි ඇවිස්සෙන සුළු ක්‍රියාකාරකම්වලින් වැළකීමද සිදුකළ යුත්තක්.

•මීළඟට වාහනවලින් වායුගෝලයට  එකතු කරන දුම අඩු කළ යුතුයි. ඒ අනුව පොදු ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිත කළ යුතුයි. නගරයට එනවා නම් පොදු ප්‍රවාහනය වැඩි වශයෙන් භාවිතයට ගැනීම සුදුසුයි.

•අපට මේ වාතය ආග්‍රහණය වීම මගහරවා ගන්න නම් සිදුකළ යුතු දෙය වන්නේ, එම පරිසරයට නොයා සිටීමයි. ඒ අනුව නගරවලට මේ දිනවල පැමිණෙන්නේ නැතිව  ඉන්න පුළුවන් නම් හොදයි. ඒ වගේම අත්‍යාවශ්‍ය කාරණාවකට එළියට බහිනවා නම්, මුවවැස්මක් පැලදීම සිදුකළ හැකියි.



•මේ දිනවල එළිමහනේ ව්‍යායාම් කිරීමේ කටයුතුවලින් වැළකීම වගේම ළමුන්ට එළිමහනේ මුව ආවරණයක් නොමැතිව සෙල්ලම් කිරීමට හෝ ක්‍රියාකාරකම් වල යෙදීමට ඉඩ ලබා නොදිය යුතුයි.

•යම් අයෙක්ට ශ්වසන රෝග තිබෙනවා  නම් ලබාදිය හැකි උපදෙස වන්නේ ඔබේ රෝග තත්ත්වයේ යම් වැඩිවීමක් ඔබට දැනෙනවා නම්, ළඟම තිඛෙන රෝහල වෙත යන්න. මෙවැනි අවස්ථාවක ගත යුතු පියවරයන් සම්බන්ධව වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ උපදෙස් ලබා දී තිඛෙනවා. නිධන්ගත රෝග තිබෙන අයටත් තමන්ගේ රෝග ලක්ෂණ උත්සන්න වීමක් දක්නට ලැබෙනවා නම් ළඟම තිබෙන රෝහලකට යා යුතුයි.

•එළිමහනේ රැකියාවන්වල නිරත වන අය හැකිතාක් මේ දින කිහිපයේ එම කටයුතුවලින් වැළකීම යෝග්‍යයි. මුව ආවරණයක් පැලද එම කාර්යයන්වල යෙදීමට හැකි නම් හොදයි. නමුත් මේ තත්ත්වයේ ප්‍රබල බව පහව යනතුරු එළිමහනේ වැඩ කිරීමෙන් වැළකීමයි වඩාත් සුදුසු.

 ‍නදිශානි පතිරණ