Atmospheric-dust-condition-for-another-4-days

රටපුරා වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය සෞඛ්‍යයට අහිතකර ලෙස ඉහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය වායු නිරීක්ෂණ මාන දත්ත අනුව අනාවරණය කරනු ලබයි.
මෙම තත්ත්වය තවත් දින හතරක් පමණ පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක පැවසීය. වැසි තත්ත්වය සමග මෙම තත්ත්වය පහව යනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමේ බලපෑම මත කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක් ඊයේ (08 වැනිදා) අඳුරු ස්වභාවයක් ඉසිලීය.



උතුරු ඉන්දියාවේ වගා බිම්වල අස්වනු නෙළීමෙන් අනතුරුව ඉතිරි වන පසු අස්වැන්න ගිනි තැබීම නිසා වායු ගෝලයට එකතු වන දූවිලි අංශු සුළඟ හරහා මෙරට වායු ගෝලයටද මෙලෙස බලපා ඇතැයි පරිසර විද්‍යාඥයෝ පවසති. දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑම ඉන්දියාවේ නව දිල්ලිය, පාකිස්ථානය ඇතුළු රටවල් රැසක ප්‍රධාන නගරවලට බරපතළ ලෙස බලපා ඇත.

එමෙන්ම, මේ දිනවල වර්ධනය වී තිබෙන සුළි කුණාටුවේ බලපෑම මතද දූවිලි අංශු ලංකාව දෙසට වැඩි වශයෙන් හමා එන බව අනාවරණය වේ.

දූවිලි අංශුවල ප්‍රමාණය අනුව නිරීක්ෂණ පැරා මීටර්වල තිබෙන pm 10 සහ pm 2.5 යන අගයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බවද ආචාර්ය සංජය රත්නායක කීවේය.

මෙරට පරාමිතීන්ට අනුව pm 2.5 අගය 0 ත් 50 ත් අතර ප්‍රමාණයක තිබිය යුතු අතර, pm 10 අගය 100 ට වඩා අඩුවිය යුතුය. නමුත්, මේ දින කීපය තුළදී මෙම අගයන් ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසුවේය. මෙම වැඩි අවස්ථා දිවයිනේ සෑම නගරයකම පාහේ පෙන්නුම් කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය සඳහන් කරන පරිදි ඊයේ (08 වැනිදා) දිනයේදී වායු ගෝලයේ දූවිලි අංශු pm 2.5 අගය අනුව පුත්තලම 118 ක් දක්වාද, කොළඹ 112 ක් දක්වාද, හම්බන්තොට 91 ක් දක්වාද, මහනුවර 85 ක් දක්වාද, යාපනය 55 ක් දක්වාද ඉහළ ගොස් තිබිණි. අඩුම අගය ලෙස 10 ක් වාර්තාවී තිබුණේ බදුල්ල ප්‍රදේශයෙන් පමණි.

කෙසේ නමුත්, මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව නිරීක්ෂණ පද්ධතිය ඊයේ දහවල් වන විටද කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු අගය pm 2.5 අගය 180 ක් ලෙස පෙන්නුම් කළේය.



IQ Air වෙබ් අඩවිය ඊයේ පස්වරු 1 ට සඳහන් කර ඇත්තේ මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය pm 2.5 අගය අනුව ගම්පහ නගරයේ 180 ක් දක්වාද, කොළඹ නගරයේ 167 ක් දක්වාද, යාපනය නගරයේ 166 ක් දක්වාද, අම්බලන්තොට හා මහනුවර 152 ක් දක්වාද, රත්නපුර 141 ක් දක්වාද, දඹුල්ල 129 ක් දක්වාද ඉහළ ගොස් ඇති බවය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන පරිදි වායුගෝලයේ දූවිලි අංශු pm 2.5 අගය 70 ත් 87 ත් අතර අගය බරපතළ සෞඛ්‍ය බලපෑම් ඇති කරවන බවය. 53 ත් 70 ත් අතර අගය සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති කෙරේ. (විශේෂයෙන් ශ්වසන අපහසුතා ආදී රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට).

මධ්‍යම පරිසර අධිකාරිය විසින් දූවිලි අංශු ඇතුළු වායු තත්ත්ව නිරීක්ෂණ මාන තුනක් අනුරාධපුර, යාපනය සහ කුරුණෑගල අලුතින් ස්ථාපිත කළ බවද ඔහු පැවසුවේය. මෙම සෑම නිරීක්ෂණ මානයකම දූවිලි අංශු ප්‍රමාණය නියමිත අගයන්ට වඩා ඉහළ මට්ටමක පවතින බවද මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක සඳහන් කළේය.

වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බැවින් එළිමහනේ ක්‍රියාකාරකම් (ක්‍රීඩා කටයුතු, බර වැඩ සහ රැස්වීම් වැනි) සීමා කිරීම, වායුගෝලයට දුම හෝ දූවිලි අංශු නිකුත්වන ඝන අපද්‍රව්‍ය පිලිස්සීමෙන් වැළකීම, වාහන භාවිතය අඩු කිරීම වඩාත් සුදුසු බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සඳහන් කරයි. ප්‍රදේශ රැසක ජනතාව පැවසුවේ මේ දිනවල තමන්ට හිසරදය, උගුරේ දැවිල්ල වැනි අපහසුතා ඇතිවන බවය.

මේ අතර වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යාමත් සමග ශ්වසන රෝග ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන පවසයි.

(සාලිය කුමාර ගුණසේකර/ වරුණි පෙරමුණ)



Atmospheric-dust-condition-for-another-4-days