sri-lanka-cricket
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යයි අධිකරණ නියෝගයක් ඉල්ලා සිටිමින්, 2021 වසරේ පෙබරවාරි මාසයේදී ඉහළම පෙළේ 12 දෙනකු විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද (දෙසැම්බර් 5 වැනිදා) විභාගයට ගැනීමට නියමිතය. පෙත්සම්කරුවන් 12 දෙනා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කරමින්, ක්‍රිකට් ආයතන නිලවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කරන ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී දැනට භාවිතා කෙරෙන විශාල ඡන්ද සංඛ්‍යාව හේතුවෙන් ඡන්ද දායකයන් මිලට ගැනීම, ඡන්දය හිමි ක්‍රීඩා සමාජ නියෝජිතයන්ට විවිධ වරප්‍රසාද ප්‍රදානය කරමින් ඔවුන් තමන්ගේ පාර්ශ්වයට නම්මා ගැනීම මෙන්ම වෙනත් අකාරයේ දූෂණ සඳහා විශාල ඉඩකඩක් නිර්මාණය වී තිබෙන බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.


මෙම හේතු නිසා අවංක සහ අව්‍යාජ පුද්ගලයන්ට ක්‍රිකට් ආයතනයේ නිලතල දැරීමට මෙන්ම ක්‍රීඩාවට සේවය කිරීමට ඇති අවකාශ ඇහිරි තිබෙන බවද පෙත්සම් කරුවෝ පෙන්වා දුන්හ.  ඉන්දියාවේත් කලකට ඉහතදී මෙවන් තත්ත්වයක් පැවැතිණ.  වසර 2013 අයි.පී.එල්. තරගාවලියේ දූෂණ සම්බන්ධයෙන් විනිසුරු මුකුල් මුද්ගල් මහතා ඇතුළු සිවු දෙනකුගෙන් සමන්විත කමිටුවක් විසින් සපයන ලද වාර්තාවකට අනුව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2015 ජනවාරි 22 වැනිදා ලෝධා කමිටුව පත්කරන ලදි. ඉන්දියාවේ හිටපු අග විනිසුරු ආර්.එම්. ලෝධා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනකුගෙන් සමන්විත විය.



එහි ලේකම්වරයා ලෙසින් පත්කරන ලද්දේත් ඉන්දීය ග්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකි. 2015 ජූලි මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද, පිටු 313 කින් සමන්විත ලෝධා කමිටු වාර්තාව අනුව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම කරන ලෙස නියෝග කළේය. එහි ප්‍රධාන නියෝගයක් වූයේ නිලවරණයේදී ඡන්දය භාවිතා කළ හැක්කේ එක ප්‍රාන්තයකට එකක් වන පරිදිය. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේදී ඡන්දය භාවිතාකළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව 38 ක් දක්වා අඩුකර තිබේ. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේදීත් ප්‍රකාශ කෙරෙන ඡන්ද සංඛ්‍යාව 18 කි. ශ්‍රී ලංකා ක්‍රිකට්  ව්‍යවස්ථාව සංශෝධනය කරන්න’යි කියන පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලන්නේ ඒ හා සමාන නියෝගයකි.

ශ්‍රී ලංකාවේ පළාත් සංඛ්‍යාව 9 ක් පමණක් වන නමුත් ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 147 ක් ප්‍රකාශ කෙරේ. පාලක ක්‍රීඩා සමාජ ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජ වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජය, එන්.සී.සී, බ්ලූම්ෆීල්ඩ්, ද්‍රවිඩ සංගමය, සී.සී.සී. සහ කෝල්ට්ස් වැනි ක්‍රීඩා සමාජවලට ඡන්ද 2 ක් බැගින් තිබේ. එහෙත් ඇතැම් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා නොකරන, නමට පමණක් පවතින ක්‍රීඩා සමාජ වන නමුත්, නිලවරණයේදී ඔවුන්ටත් ඡන්ද දෙකක් භාවිතා කළ හැකිය.පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ සියල්ල නිරීක්ෂණය කර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මග සලසන ලෙසයි.

2021 පෙබරවාරි මාසයේදී මෙම පෙත්සම ගොනු කරන විට සිටි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා කිසියම් හේතුවක් නිසා ඊට විරෝධය පළ කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට මෝසමක් ගොනු කළේය.

එහෙත් වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩ බාරගත් අවස්ථාවේදී පෙත්සම්කරුවන්ගේ ඉල්ලීමට කැමැත්ත පළ කළේය. කෙසේ වෙතත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ කැමැත්ත අධිකරණයේ සභාගත නොවීම හේතුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කුමන පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න ගැටලුවක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් කරන ලද විමසීමකට නීතිපති දෙපාර්තමේන්තුව පිළිතුරු දී ඇත්තේ තමන් ක්‍රීඩා නීතිය කෙටුම්පත් කරමින් සිටින බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවත් ආවරණය කරමින් කෙටුම්පත් කෙරෙන බවය.

මෙම තත්ත්වය අපහැදිළිය. ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවට දැවැන්ත මුදල් කන්දරාවක් ගෙන එන ක්‍රීඩාවකි. එහි වාර්ෂික පිරිවැටුම ගණනය කෙරෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනිනි. ගෙවී යන 2022 වසර ඇතුළතදී පමණක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්, ක්‍රිකට් නොවන අංශ වෙත ප්‍රදානය කරන ලද  මුදල රුපියල් මිලියන 450 ක් හෙවත් රුපියල් කෝටි 45 ඉක්මවයි.  ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගෙන පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවකට රුපියල් මිලියන දෙකක් බැගින් ත්‍යාග මුදල් පිරිනැමුණේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වන අතර එම ත්‍යාග මුදල් ද මෙම කෝටි 45 ට ඇතුළත් වේ. මෙම මුදලින් රුපියල් මිලියන 74 ක් හෙවත් රුපියල් කෝටි 7.4 ක් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයටද, තවත් රුපියල් කෝටි 18.5 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ද කළ පරිත්‍යාග වේ. සෙසු සියලුම මුදල් පරිත්‍යාග කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් දරන අනුග්‍රහයන් වශයෙනි. 


ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගිය ක්‍රිකට් ප්‍රවීණයෝ 



සිදත් වෙත්තමුණි, මයිකල් තිසේරා, මුත්තයියා මුරලිදරන්, ආනා පුංචිහේවා, රියන්සි විජේතිලක, එස්, ස්කන්ධකුමාර්, කුෂිල් ගුණසේකර, ආචාර්ය පාලිත කොහොන, තිලාන් විජේසිංහ, විශ්‍රාමික විනිසුරු සලීම් මර්සුෆ් සහ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් යන මහත්වරු. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක හිටපු සභාපතිවරයකු වූ, අභාවප්‍රාප්ත විජය මලලසේකර මහතාත් මෙම පෙත්සම්කරුවෝ අතර සිටියහ.


දමින්ද විජේසූරිය