kalutara-ip-house-robbed

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බව පවසමින් කළුතර උතුර විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය නිවසට පෙරේදා (03දා) වෑන් රථයකින් 06 දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් කඩාවැදී ජංගම දුරකථන 03ක් සහ රන් මුදුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි. 

එම සන්නද්ධ පිරිස නිවසට පැමිණි මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නැති බවද පොලීසිය සඳහන් කරයි.  නිවසට කඩාවැදුණු එම පුද්ගලයන් පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳගේ අත්, පටියකින් ගැට ගසා ගිනිඅවියක් සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇයගේ හිසට සහ නිකටට ගිනි  අවියකින් පහරදී ඇතැයි පොලීසිය පැවසීය. අනතුරුව එම පිරිස අල්මාරි අවුස්සා දමා ගිනිඅවි සොයා තිබේ.

එමෙන්ම ඔවුන් නිවසට යාබදව තිබෙන කුරුදු ගබඩාවට ගොස් එම ගබඩාව තුළ ගිනිඅවි සොයා ඇති අතර, අනතුරුව යාබදව තිබෙන දැව ගොඩක්ද පෙරළා දමා ගිනිඅවි සොයා ඇතැයි පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය  වී ඇත.

නිවසට පැමිණි සන්නද්ධ පිරිස පිස්තෝල 03ක් රැගෙන පැමිණි බවද පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ලබාදුන් ප්‍රකාශයේ තවදුරටත්  සඳහන් වේ.  අනතුරුව එම පුද්ගලයන් පොලිස් පරීක්ෂකවරයාගේ දියණියගේ මෙන්ම ඥාති දියණියගේ ජංගම දුරකථන සහ පොලිස් පරීක්ෂකවරයාගේ දියණිය පැලඳ සිටි රන් මුදුවක් කොල්ලකා පලා ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත්, අවට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරමින් පවතින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය සඳහන් කළේය.



බිමල් ශ්‍යාමන් ජයසිංහ