school-bag-expences-sri-lanka

වසරක අවසානයට පැමිණෙන විට මවුපියන්ට තම දරුවන් සඳහා එළඹෙන වසරට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ මිලදී ගැනීමට සිදුවේ. 2020 වසරේ සිට එය තරමක් වෙනස් වූයේ කෝවිඩ් වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙනි. පාසල් වසා තැබීම හේතුවෙන් පාසල් වාර කාලසටහන වෙනස් විය. අ.පො.ස සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පවා සාමාන්‍ය රටාවෙන් වෙනස් විය. 2023 ලෙස අලුත් අවුරුද්දක් පැමිණියත්, දරුවන් අලුත් ශ්‍රේණියකට යන්නේ ලබන වසරේ අප්‍රේල් මාසයේදීය. නමුත් නව වසරක් එළඹීමත් සමග දරුවන්ට අලුත් නිලඇඳුම්, සපත්තු, පාසල් බෑග් ආදිය මිලදී ගැනීමට මවුපියන්ට සිදුවේ.

ලංකාවේ පවතින ආර්ථික අර්බුදයත් සමග කඩදාසි මිල දෙගුණයකින් හා ඇතැම් පාසල් උපකරණ තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.

ඊට සාපේක්ෂව කඩදාසි ආශ්‍රිත නිෂ්පාදනවලත් මිල ඉහළ ගොස් තිබේ. ආනයනය සීමා වීමත් සමග ඇතැම් භාණ්ඩවල හිගයක්ද දක්නට ලැබුණි. වෙළෙඳ පොළ තුළ මිලදී ගැනීමට ඇති භාණ්ඩවල මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වීමෙන් බොහෝ පාසල් උපකරණවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව දැකගන්න ලැබුණි. මෙම ලිපිය සැකසෙන්නේ මේ වන විට පවතින මිල ගණත් අනුව දරුවෙකුට නව වසරේදී පාසල් යාමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා වැය වන අවම පිරිවැය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීමටය.

ලංකාවේ ජනප්‍රිය පාසල් පාවහන් නිෂ්පාදනයක මිල ගණන් වැඩි වීම පිළිබඳව අපි සොයා බැලුවෙමු. රුපියල් 1499ක මිලකට පැවති කාන්තා පාසල් පාවහන් යුගලක නව මිල සදහන් වන්නේ රුපියල් 3000- 3599ත් අතර මිලකටය. 1399ක මුදලකට පැවති පිරිමි පාසල් පාවහන් යුගලක මිල දැක්වෙන්නේ 3599ක් ලෙසය. මේස්වල මිල ගණන්ද රුපියල් 240 සිට 350 දක්වා මිල පරාසයන්හි පවතියි. මේස් යුගලක් මින් පෙර පැවතියේ 120 - 150ත් අතර මිලකටය. පාසල් බෑග් රුපියල් 1500 සිට රුපියල් 6000 ඉක්මවූ මිල ගණන් දක්වා විවිධ ප්‍රමිතිනීගෙන් ඇති අතර, රුපියල් 1500කට මිලදී ගත හැක්කේ පැරණි තොගවල ඉතිරිව ඇති පාසල් බෑග් බව දැනගන්නට ලැබුණි. එයද පෙරපාසල් දරුවන්ට හා ප්‍රාථමික අංශයේ දරුවන්ට සුදුසු බෑග්ය. පාසල් නිලඇඳුම් රෙදිවල මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පාසලෙන් ලබාදෙන නිල ඇඳුම් රෙද්දෙන් එක් නිල ඇඳුමක් මසා ගත හැකි යැයි සිතුවොත්, එක් නිල ඇඳුමක් පමණක් ප්‍රමාණවත් නොවන බැවින් දරුවෙකුට තවත් නිල ඇදුමක් මසා දීමට මවුපියන්ට පිරිවැයක් දැරීමට සිදුවේ. ඒ සදහා කාන්තා නිල ඇඳුම් රෙද්දක් මිලදී ගන්නට සිදුවන්නේ මීටරයක් රුපියල් 550 - 1000ත් අතර මිලකටය. එය රෙදිවල ප්‍රමිතිය අනුව වෙනස් වෙයි. පිරිමි දරුවෙකු සදහා අවශ්‍ය කලිසම සහ කමිසය සඳහා අවශ්‍ය රෙදිවල මිල ගණන්ද ඊට වැඩි වෙනසක් නොවේ. ඉතා අඩු ප්‍රමිතියකින් යුතු වතුර බෝතලයක්ද රුපියල් 500කට වැඩිය.

කෑම පෙට්ටියක මිලද රුපියල් 350 ඉක්මවූ එකකි. එයද ප්‍රමිතිය අනුව විවිධ ඉහළ මිල ගණන් යටතේ දක්නට ලැබේ.

මේ සියල්ල අතර වැදගත්ම දේ පොත්ය. අභ්‍යාස පොත්වල මිල ගණන්ද පැවති මිල මෙන් තුන්ගුණයකට ආසන්න අගයකින් වැඩි වී ඇත. පිටු 40ක තනිරූල් හෝ කොටුරූල් පොතක මිලද රුපියල් 80කි. එය ඉන් පෙර පැවතියේ රුපියල් 35ක් වැනි මිලකටය. පිටු 80ක තනිරූල් හෝ කොටුරූල් පොතක මිල  රුපියල් 145කි. පිටු 120ක පොතක් රුපියල් 200කි. පිටු 160ක පොතක මිල රුපියල් 245ක් දක්වා ඉහළ ගොස් ඇත. සී.ආර් පොත්වල මිල ගණන්ද එලෙසම වැඩි වී තිබේ. තනිරූල් හෝ කොටුරූල් පිටු 40 සීආර් පොතක මිල රුපියල් 155කි. තනිරූල් හෝ කොටුරූල් පිටු 80ක සීආර් පොතක මිල රුපියල් 300කි. ඇතැම් වෙළෙඳ සන්නාමවල පිටු 120ක පොතක් රුපියල් 400 ඉක්මවා ඇති අතර, පිටු 160 පොතක් රුපියල් 500කට ආසන්න වී තිබේ. එමෙන්ම පිටු 200ක සීආර් පොතක මිල රුපියල් 500 ඉක්මවා ඇත.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුවෙක් විෂයන් 13ක් පමණ ඉගෙන ගන්නා අතර, සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් 10 - 11 ශ්‍රේණිවලදී විෂයන් 9ක් අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුය. උසස් පෙළ සදහා තෝරාගත් විෂයන් 3ක් සහ සාමාන්‍ය ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට සිදුවේ. එලෙස ගත් කල පොත් මිලදී ගැනීම සඳහා පමණක් අවම වශයෙන් රුපියල් 4000ක පමණ මුදලක්වත් වෙන් කළ යුතුය. එක් එක් විෂයන් සඳහා අවශ්‍ය පොත්වල ප්‍රමාණයත් අනුව මෙම ගණත් වෙනස් විය හැකි අතර, අවම වශයෙන් නව ශ්‍රේණියක් ආරම්භයේදී සියලු විෂයන්ට අභ්‍යාස පොත් මිලදී ගැනීම වෙනුවෙන් මෙවැනි මුදල් වෙන් කිරීමට සිදුවන බව පෙනී යයි. සෙසු පාසල් උපකරණද සමග බැලූ කල 6 ශ්‍රේණියෙන් ඉහළ එක් දරුවෙක් සඳහා අවශ්‍ය සියලු මිලදී ගැනීම් වෙනුවෙන් මවුපියන්ට දැරීමට සිදුවන අවම පිරිවැය රුපියල් 15,000ක් පමණ වේ.



2023 පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවෙකු ඔබට සිටිනවා විය හැකිය. එක් එක් පාසල අනුව ප්‍රමාණයත් හා ද්‍රව්‍යයන් වෙනස් වුවත්, පළමු ශ්‍රේණියට ඇතුළත් කරන දරුවෙක් වෙනුවෙන් පාසල විසින් ලබාදෙන පොත් ලැයිස්තුවක් තිබේ. අපි දැන් එම පොත් ලැයිස්තුව දෙස අවධානය  යොමු කරමු. එක ශ්‍රේණියට ඇතුළත් වන සිසුවෙකුගේ අභ්‍යාස  පොත් ඇතුළු ක්‍රියාකාරකම් සදහා  අවශ්‍ය සෙසු ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මවුපියන්ට දැරීමට සිදුවන අවම පිරිවැය රුපියල් 6500කි. සපත්තු, පාසල් බෑග් ඇතුළු අනෙකුත් ද්‍රව්‍යත් සමග ගත් කල එක් දරුවෙක් සඳහා රුපියල් 15,000ක පමණ අවම පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනී යයි. පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා ඒප්‍රැන්, මල්පොච්චි, ලේන්සු, කෑම පෙට්ටිය ඔතන ප්‍රමාණයෙන් විශාල ලේන්සු මෙන්ම සියලු ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ඇදීම වෙනුවෙන් අවශ්‍ය යට ඇඳුම් මිලදී ගැනීම ආදිය සඳහා වැය කිරීමට සිදුවන මුදල්ද සමග ගත් කල මෙම පිරිවැය තවදුරටත් ඉහළ යා හැකිය.

වැඩිවන විදුලිඛිල , ජලබිල හා ආහාර සඳහා වැය වන අධික මිල මෙන්ම අභ්‍යාස පොත්, අතිරේක කියවීම් පොත් ඇතුළු දරුවන්ට අධ්‍යාපනය සදහා අවශ්‍ය සියලු දේවල්හි මිල පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති මිල ගණන්වලට සාපේක්ෂව අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි. 'හොදම දේ දරුවන්ට' යැයි කියමනක් තිබුණද, අද වන විට හොදම දේ තබා අවශ්‍යම දේ වත් දරුවන්ට ලබාදිය හැකි දැයි යන්න ප්‍රශ්නයක් වී ඇත. හොඳම දේවල්හි මිල දැරිය නොහැකි තත්ත්වයක් තුළ අපි දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද? රටක අනාගත ආයෝජනය වන්නේ අධ්‍යාපනයෙන්, දැනුමෙන් හා කුසලතාවයෙන් පිරි දරු පරපුරයි. සෑම දරුවෙක්ම විෂය නිර්දේශය තුළ ඇති විෂයන් හැදෑරීම මෙන්ම, පාසල තුළදී ක්‍රීඩා ආදී බාහිර ක්‍රියාකාරකම් කිරීමට සිදුවුවහොත්, එම ක්‍රියාකාරකම් සඳහා යන අතිරේක පිරිවැය දැරීමට සිදුවන්නේද මවුපියන්ටය. ක්‍රීඩා උපකරණවලද මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙවැනි තත්ත්වයක් තුළ අ.පො.ස සාමාන්‍ය පෙළට පෙර හා සාමාන්‍ය පෙළින් අධ්‍යාපන කටයුතු අවසන් කරන සිසුන් සංඛ්‍යාවේද වැඩිවීමක් ඇති බව වාර්තා විය. රටේ ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයද අර්බුදයකට ලක්ව ඇති බව අපට දිනෙන් දින පසක් වේ.


 නවෝද්‍යා පවනි