rathugala-arrested

සේනානායක සමුද්‍රයේ පසුගිය (11දා) මාළු ඇල්ලීමට ගිය තමන් ඇතුළු පිරිසක් වනජීවී භාරයට ගත් බව බිබිල රතුගල ආදිවාසි නායක දානිගල මහබන්ඩියලාගේ සුදාවන්නිලා ඇත්තෝ පැවසූහ. තමන් මුහුණදුන් සිද්ධි පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ රතුගල ආදිවාසි නායකයා මෙසේ පැවසීය.

"අපේ මිනිස්සු මේ කාලේ ජීවිතය ගැටගහගන්නේ ඉතාම අසීරුවෙනුයි. මමත් මගේ පවුලේ අයත් එහෙමයි. මගේ ඥාති කිහිපදෙනෙකු එක්ක පසුගිය (11දා) ගල්ඔය වනෝද්‍යානයේ මකර ආසන්නේ ඇති සේනානායක සමුද්‍රයට ගියේ මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන එන්නයි. අපි වැවේ මාළු අල්ල අල්ල ඉන්නකොට වනජීවී එකේ මහත්වරු ටිකක් බෝට්ටුවෙත් ඇවිත් වටලලා කිව්වා දුවන්න එපා කියලා.

අපිට දුවන්න තරම් හේතුවක් තිබුණේ නැහැනේ. ඒත් තුවක්කු තියාගෙන අපිට පොඩ්ඩක් ඈතින් හිටිය කසිප්පුකාරයෝ ටිකකුයි, තවත් කිහිපදෙනෙකුයි වනජීවී මහත්වරු දැකලා දිව්වා. වනජීවී මහත්වරු ඒ අය අල්ලගන්න උත්සාහ නොකර අපිවත්, අපි අල්ලගත්ත මාළුත් අත්අඩංගුවට අරන් බෝට්ටුවෙන් අම්පාර වනජීවි කාර්යාලයට අරන් ගියා.

අපිව අධිකරණයට ඉදිරිපත් නොකර වනජීවී නිලධාරීන් අපිව දවසක් අම්පාරේ රඳවාගෙන ඉඳලා (13දා) නැවත බිබිල නිල්ගල වනජීවි කාර්යාලයට අරන් ආවා. අපිට අම්පාර කාර්යාලයේදී තේ එකක්වත් දෙන්න කිසිම නිලධාරියෙක් කටයුතු කළේ නැහැ. මම වකුගඩු ලෙඩෙක්, මට ෆෙෂරුත් තියෙනවා. මට බෙහෙත් ටික අරන් එනකම් හරි නිදහස් කරන්න ඉල්ලුවත් අම්පාරේ නිලධාරීන් සැලකිල්ලක් දැක්කුවේ නැහැ. නමුත් නිල්ගල වනජීවී නිලධාරී මහත්වරු ටික අපිට හොඳින් සැලකුවා.පස්සේ අපිව ඇප මත නිදහස් කළා. වනජීවී නිලධාරීන් මාව අත්අඩංගුවට ගත්තේ මට කැලේට යන්න වනජීවී එකෙන්ම දුන්න අවසර පතක් තියෙද්දියි. ඇත්තෙන්ම ගල්ඔය කැලේ මහාපරිමාණ ජාවාරම් වෙනවා. පාක් එක ඇතුළේ තියෙන උල්හෙළ කුඹුරු යායේ ප්‍රසිද්ධියේ පතල් කපනවා. ඒකට මේ නිලධාරීන් සම්බන්ධයි. ඊට අමතරව වෙනත් ඕන තරම් ජාවාරම් මේක ඇතුළේ වෙනවා. ඒවා වළක්වන්නේ නැතිව ඇයි අපිට විතරක් මේ කෙනෙහෙලිකම්. අපි වැවෙන් මාළුවෙක් අල්ලන්න ගියේ ගැහැනු, දරුවන්ගේ බඩගින්නටයි.



මේ සම්බන්ධයෙන් විමසීමට නිල්ගල වනජීවී කාර්යාලයේ නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යවර්ථ විය. පසුව මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ රතුගල ආදිවාසි නායකයා ඇතුළු පිරිසක්, මාළු අල්ලන්නට ගොස් සිටියදී තම නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව තමන්ටද දැනගන්නට ලැබුණු බවයි. ඇප මත මුදාහැර ඇති රතුගල ආදිවාසී නායකයා ඇතුළු පිරිස 2023 ජනවාරි 19වැනිදා බිඛිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.


 නයනජිව බණ්ඩාර