polonnaruwa-house-issue

බීමතින් පුද්ගලයකු ට්‍රැක්ටරයක් පදවාගෙනවිත් මැදිරිගිරිය, සමගිපුර ප්‍රදේශයේ නිවසක් බිමට සමතලා කර ඇත. පෙරේදා (4) රාත්‍රි 9ට පමණ ට්‍රැක්ටර් යන්ත්‍රයක් යොදා ගනිමින් තම බෑණා නිවස විනාශ කළ බව ගෙහිමි කාන්තාව පැවසුවාය.



පැයකට වැඩි කාලයක් එම පුද්ගලයා විසින් ට්‍රැක්ටරය යොදා ගනිමින් නිවසේ ඉදිරිපස ප්‍රදේශය විනාශ කර ඇත. නිවස කඩා වැටී තම ජීවිතවලට හානි සිදුවේ යැයි සිතා නිවැසියන් එම නිවසෙන් පලා ගොස් ඇත. නිවසේ සාලය සහිත ප්‍රදේශය කඩා වැටී ඇති අතර එමගින් ඒ තුළ වූ ගෘහ භාණ්ඩවලට හානි සිදුව ඇත.ප්‍රදේශවාසීන් දැඩි විරෝධය දැක්වීම නිසා නිවසට හානි කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෙම නිවසේ හිමිකාරියට අමතරව ඇගේ දරුවන් තිදෙනෙකු හා මුණුපුරු මිණිබිරියන් තිදෙනෙකු වාසය කර ඇති අතර කුලී වැඩ මගින් ඉතා අසරණව දිවි ගෙවන මෙම පවුලට නිවසක් නොමැතිව සිටින අවස්ථාවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් රුපියල් ලක්ෂ 6ක් ලබා දී ඔවුන්ට එම නිවස වසරකට පමණ ඉහතදී ඉදිකර දී ඇත.

හානියට ලක්වූ නිවසේ හිමිකාරිය වන ඊ.පී. චන්ද්‍රා ඇතුගල විසින් මෙම හානිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මෙම නිවසට හානි සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය. ජීවත් වීමට නිවසක් නොමැතිව ඔවුන් දැන් අසරණව සිටී.

අසේල ධර්මවංශ -පොළොන්නරුව/ බණ්ඩාර මුදියන්සේ-පොළොන්නරුව