police-love

පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ පෙම්වතිය බව කියන පොලිස් කොස්තාපල්වරියක හබරාදූව ප්‍රදේශයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් රඳවා තබාගෙන පහර දී ඇයගේ සිරුර සපා කෑ බව කියමින් කොස්තාපල්වරියක ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පෙරේදා (29) පැමිණිල්ලක් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. පොලිස් බුද්ධි අංශයකට අනුයුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.



පහරකෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල්වරිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.  ගාල්ල කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක රාජකාරියේ නිරතව සිටින මෙම පොලිස් කොස්තාපල්වරිය රාජකාරි නිවාඩු ලබාගෙන නිවස බලා යාමට ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසලට පැමිණ ඇත.  පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයා මේ අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණ ඇය හබරාදූව ප්‍රදේශයේ පිහිටි හෝටලයකට රැගෙන ගොස් ඇතැයි කියති.හෝටල් කාමරයට කැඳවාගෙන ගිය කොස්තාපල්වරිය වෙනත් අයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට සැක කර ඇයගේ ජංගම දුරකතනය පරික්ෂා කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.


ජංගම දුරකථනය පරීක්ෂාකර බලන අතරවාරයේ කොස්තාපල්වරියට බීම පුරවන ලද බෝතලයකින් සහ හම් පටියකින් පහර දෙමින් සිරුර ද සපා කා ඇතැයි පොලිසිය පවසයි. 

පොලිස් කොස්තාපල්වරියගේ රුපියල් 45000ක් පමණ වටිනා එම ජංගම දුරකථනයද පොළොවේ ගසා පසුව ඇය හෝටලය පිටතට රැගෙන විත් බස් රථයකට නංවා කොස්තාපල්වරයා පිටත්ව ගොස් ඇතැයි කියති.  සිද්ධියට මුහුණ පෑ බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරිය මේ ගැන ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය