polonnaruwa-jcb

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව, ප්‍රේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට ජේ.සී.බී. යන්ත්‍ර දෙකක් ඇතුළු අක්කර ගණනාවක රක්ෂිතය විනාශ කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු, එම ජේ.සී.බී. යන්ත්‍ර දෙකද සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවි කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව, ඕනෑගම හා කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොළොන්නරුව අඩවි සහකාර එස්.ඒ. වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මීට දින කිහිපයක සිට එම වන සංහාරය සිදුකර ඇති අතර, ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේ දී ඔවුන් අත්අඩංගුවට ගත් බව වික්‍රමරත්න මහතා කීවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජලගැලීම් ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ අක්කර 25 කට පමණ විනාශ කර ඇති අතර කුමක් අරමුණු කරගෙන එය විනාශ කරන්නට ඇද්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීහු සඳහන් කළහ.  විනාශ කර ඇති ප්‍රදේශය වන අලින්ද බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශයක් බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

ප්‍රදේශයේ විහාරස්ථානයකට ලබාදුන් ඉඩම් ලෙස පවසා මෙම සැකකරුවන් එම රක්ෂිත ප්‍රදේශ විනාශ කර ඇති අතර,

එම රක්ෂිත විනාශ කිරීමට හෝ කැළෑ හෙළි පෙහෙළි කිරීමට කිසිදු ලියකියවිල්ලක්, අවසරයක් ඔවුන් සතුව නොතිබූ බවද වනජීවී  නිලධාරීහු ප්‍රකාශ කළහ. පොළොන්නරුව අඩවි ආරක්ෂක පී.ඩී.එස්. ශාන්ත මහතාගේ උපදෙස් මත, එස්.ඒ. වික්‍රමරත්න, ඒ.එස්.නාලක, එම්.ආර්. ප්‍රියදර්ශන යන අඩවි සහකාරවරුන් සහ සිවිල් ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නියාමක එස්, උමාන්තන්, ක්ෂේත්‍ර සහකාර පී.එම්. ආර්. දිසානායක, ක්ෂේත්‍ර සහයක එච්.ඒ. සේනාරත්න, සිවිල් ආරක්ෂක ලසන්ත, නියාමක විජිත නන්දන, රියදුරු කුමාර රාජපක්ෂ යන පිරිස මෙම වැටලීමට එක්ව සිටියහ. මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ජේ.සී. බී. යන්ත්‍ර දෙක පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (30) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද පොලොන්නරුව අඩවි සහකාර එස්.ඒ. වික්‍රමරත්න මහතා කීවේය.

නිමල් ජයරත්න