two-arrested-gampaha
ගම්පහ ප්‍රදේශයේ දී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරීම යන අපරාධවලට ආයුධ සහ යතුරුපැදි ලබාදී ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෝ පස්දෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් ගණේමුල්ල සහ රාගම ප්‍රදේශවල දී පෙරේදා (29) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූහ.  

මෙම පිරිස ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ලහිරු ' නමැත්තාගේ ගෝලයන් බවත්, ඔවුන් අතර ලහිරු නමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන " බෝනික්කා" නමැත්තා ද සිටින බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව හෙරොයින් ග්‍රෑම්5 ක්, මත්ද්‍රව්‍ය කිරන විද්‍යුත් තරාදියක් තිබු බවත් විශේෂ කාර්ය බළකාය කියයි.



මෙම ඝාතන සඳහා ආයුධ ප්‍රවාහනය කළ බෝනික්කා  නමැත්තා කැන්දලියැද්දපාළුව ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලියට ගෙන සැඟවී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව භට කණ්ඩායමක් පෙරේදා රාත්‍රි 7.30 ට පමණ එම නිවස වටලා බෝනික්කා සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බළකාය කියයි.  එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම කල්ලියේ තවත් තිදෙනකු රාගම ඇල්විටිවෙල ප්‍රදේශයේ නිවසක දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු වන බෝනික්කා නමැත්තාට වෑන් රථයක් ඇති බවත්, ඝාතන සඳහා ඔහුට ලබා දෙන ගිනි අවි සැකකරු ඔහුගේ වෑන් රථයෙන් අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනකර ඇති බව ද විශේෂ කාර්ය බළකාය කියයි.

ගම්පහ පොලිස් වසමේ කෙහෙල්බද්දර ප්‍රදේශයේ සැලුන් එකක සේවය කළ තරුණයකු වූ අචිර නෙත්රුවන් නමැත්තා 2022.08.06 දින වෙඩි තබා ඝාතනය කිරීම, 22.08.24 දින මාකේවිට බටපොත ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ වෙළෙඳ සලක හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම,

2022.11.15 වන දින ගම්පහ පොලිස් වසමේ සියඹලාපිටිය ප්‍රාථමික විදුහල ඉදිරිපිටදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරීම, 2022.07.31 දින රත්ගම ප්‍රදේශයේදී වෙඩි තැබීම ආදී අපරාධවලට මොවුන් ආයුධ ලබා දී ආධාර අනුබල දී ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ හා අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20-30 අතර පසුවන්නන් බව ද විශේෂ කාර්ය බළකාය කියයි.

මොවුන් ඝාතන වලට ආයුධ ප්‍රවාහනයට අමතරව, අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ද සිදුකරන බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. විශේෂ කාර්ය බළකායේ  අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ සහ බස්නාහිර උතුර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එම්.එන්.කේ. මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ විශේෂ මෙහෙයුම් ඒකකයේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී  ඇත.

ඉන්දිකා රාමනායක