pannala-science-sir-arrested

පන්නල පොලිස් වසමේ පාසලක 10 වන වසරේ ඉගනුම ලබන වයස අවුරුදු 15ක දැරියක දූෂණය කළ බව කියන උපකාරක පන්ති ගුරවරයෙකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 15 වන දා දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කර ඇත.



එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, දංකොටුව, වෙන්නප්පුව, මාකඳුර ආදී ප්‍රදේශ රැසක විද්‍යාව විෂය ඉගැන්වීම් කරන වයස අවුරුදු 24ක ගුරුවරයෙකි.

පන්නල පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා සාවිත්‍රි සිරිමාන්න අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, පන්නල පොලිස් වසමේ විදුහලක සිසුවියක් සන්තකයේ උපත් පාලන පෙති තිබී හමු වී ඒ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී සැකකරු පිළිබඳව අනාවරණය වී ඇති බව ය.

උපකාර පන්තියට සම්බන්ධ වට්ස්ඇප් සමූහයකින් සැකකරු දැරියගේ අංකය සොයාගෙන යම් යම් පෙළඹවිම් සිදුකර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.



ඒ අනුව, සැකකාර ගුරුවරයා දංකොටුව ප්‍රදේශයේ පන්තියක ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටියදී ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු කී නීතිඥ චම්පික ලසිතකුමාර සඳහන් කර ඇත්තේ, සැකකරු හා දැරිය අතර ප්‍රේම සබඳතාවක් තිබූ බව ත් සැකකරු වෙනුවෙන් සුදුසු ඇපයක් ලබා දෙන ලෙසත් ය.

අධිකරණයට පැමිණෙන සියලු ස්ත්‍රී දූෂණ, ප්‍රේම සබඳතා අනුව සිදුවන ඒවා වීම විශ්මය ජනක බව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

පොලිසිය ගෙනහැර දැක්වූ කරුණු අනුව, සැකකාර ගුරුවරයෙග් පන්තිවල ඉගෙනුම ලබන සෙසු දැරියන් පිළිබඳව ද විමර්ශන සිදුකර 15 වන දාට අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කර තිබේ.