electricity-bill-issue
විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද එම තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම බැඳී නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ එම තීරණය මහජන උපයෝගීතා කොමිසමේ පනතට පටහැනි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (1) පස්වරුවේ පැවැසීය. 

පනතට ගරු කළ ද ඇමතිට ගරු නොකරන බව කී ජනක රත්නායක මහතා විදුලි කප්පාදුව නොසලකා හරින ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යයෙන්ම ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.



කැබිනට් මණ්ඩලය පසුගිය කාලය පුරා හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා රැසකට අනුමැතිය ලබා දුන්නද මහජන උපයෝගීතා කොමිසම එම යෝජනා ක්‍රියාත්මක නොකළ බවත් එම යෝජනා මෙන්ම මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවද ක්‍රියාත්මක නොකර සිටීමේ හැකියාව එම කොමිසමට ඇති බව ද සභාපතිවරයා කීය. කැබිනට් පත්‍රිකාව මගින් ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ලැබූ පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තුව ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් මහජන උපයෝගීතා පනතට අනුව සාධාරණ පිරිවැය ප්‍රතිපූර්ණය කර ගැනීමට මිස ඊට පෙර ලැබූ පාඩු පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි  බව කී ජනක රත්නායක මහතා තමන් මහජන උපයෝගිතා පනත අනුව පමණක් කටයුතු කරන බවද සඳහන් කළේය.

කැබිනට් පත්‍රිකාව මගින් ජනවාරි සහ ජූනි යන මාසවලදී විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කිරීම පිළිගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය අනුව අප්‍රේල් සහ ඔක්තෝබර් යන මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම මීට වසර 7 කට පෙර එනම් 2016 වසරේ යෝජනා කළ බවද සභාපතිවරයා කීය. මෙම වසරේ අගෝස්තු මස විදුලි ගාස්තු සියයට 76 ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීමෙන් පසුව මාස තුනේදී විදුලි බල මණ්ඩල රුපියල් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 100 ක් ලැබූ බව කී රත්නායක මහතා ඒ අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවස්ථාවක් නොමැති බව ද සඳහන් කළේය.



විදුලිබල මණ්ඩලය තව දුරටත් ඉන්ධන මගින් විදුලිය නිපදවීමට වැඩි බරතැබීමක් කර තිබීම නිසා ලෝක  ඉන්ධන මිල අඩුවීමට සාපේක්‍ෂව අඩු මිලට ඉන්ධන මිලදී ගත හොත් රුපියල් බිලියන 400 ක වාර්ෂික ඉන්ධන වියදම බිලියන 200 ක් දක්වා අඩු කරගත හැකි බවත් කෙසේ වෙතත් විදුලිබල මණ්ඩල මේ දක්වා ඉන්ධන මිල ඉහළ දැමීමට ඉල්ලීමක් කර නොමැති බවත් රත්නායක මහතා සඳහන් කළේය. පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම නිසා මේ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද ජනක රත්නායක මහතා අගෝස්තු මස විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසුව විදුලි පරිභෝජනය සියයට 12 කින් අඩුවීමේ වාසිය විදුලි පාරිභෝගිකයන්ට දීමට කොමිසම වගකීමෙන් බැඳී සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව ඉදිරි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී ඊයේ (1) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මෙසේ අදහස් දැක්වීය.


යොහාන් භාසුර