january-power-tarrif

විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්‌යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසීය. විදුලි ගාස්තු සංශෝධන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී එම නිර්දේශ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බවත් ඔහු පැවසුවේය.





විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලබන වසරට අවශ්‍ය රුපියල් බිලියන 270 ත් 300 ත් අතර මුදල පූරණය කිරීමට අවශ්‍ය ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කරන බව ද ඊයේ (21 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විදුලි ඒකකයක් රුපියල් 56 කින් ඉහළ දමන බවට තමන් මින් පෙර පැවසුවේ නියං කාලයක් පැමිණියහොත් එම තත්ත්වයද සලකා බැලීමෙන් පසු බවත් දැන් තිබෙන තත්ත්වය සලකා බලා ඒකකයක් රුපියල් 45 ත් 46 ත් අතර සීමාවකින් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.



විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති අතර එම තොරතුරු සහ විදුලි බිල ඉහළ දැමිය යුත්තේ ඇයිද යන්නද සවිස්තරාත්මකව දක්වා ලබන වසරේ ජනවාරි දෙවැනිදා සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලබන වසරේ සිට මාස හයකට සැරයක් එනම් වසරකට දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බවය. ජනවාරි මාසයේ සිදුකරන විදුලි සංශෝධනය ඉතාමත් දුෂ්කර එකක් වුවත් ලබන ජුනි ජූලි වන විට සිදුකරන සංශෝධනය එතරම්ම අයහපත් නොවනු ඇති බවට විශ්වාසයක් ඇති බවත් ඔහු කීය.