How-the-people-of-the-plantation-welcomed-the-first-young-man-in-a-tea-estate-after-graduating

නුවරඑළිය, නානුඔය පොලිස් වසමට අයත් වතු කම්කරු පවුල් 600ක් පමණ ජීවත්වන ඉපැරැණි වතු ගම්මානයක් වන ‘ග්ලැස්කෝ” තේ වතුයායේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වතු කම්කරු පවුලක උපන් තරුණයකු දේශපාලන විද්‍යාව සහ සමාජ අධ්‍යයනය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගැනීමේ සතුට සැමරීමට වතුයායේ වතු කම්කරුවන් එක්ව එම තරුණයාට කිරුළු පැළඳ පිළිගැනීමේ උත්සවයක් පසුගිය දා එම වතුයායේ දී පැවැත්විණි.නාරායනන් පුන්නියසෙල්වන් නමැති 25 හැවිරිදි එම තරුණයා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ ග්ලැස්කෝ දෙමළ මහා විද්‍යාලයෙනි.පසුව උසස් පෙළ කලා විෂයෙන් නානුඔය නාවලර් දෙමළ මහ විද්‍යාලයෙන් හදාරා පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට වරම් ලැබීය.



නාරායනන් පුන්තියසෙල්වන් පවුලේ වැඩිමලා වන අතර, ඔහුට එක් සහෝදරියක් ද සිටී, එම සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට කඩඉම් ලකුණු මදිවීම නිසා ඇය ශ්‍රී පාද විද්‍යා පීඨයට ඇතුළත්වීමට අයදුම් කර ඇත. පුන්නිය සෙල්වන්ගේ පියා වන මානික්කම් නාරායනන් මේ වන විට රෝගාතුරව නිවසේ සිටින අතර, ඔහුගේ මව වන රාමසාමි පුගනලෝචනි වසර 12 තිස්සේ එම වතුයායේ වතු කම්කරු කාන්තාවක ලෙස කටයුතු කරමින් ලබාගන්නා වැටුපෙන් තම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ රෝගාතුර වූ සැමියාව රැකබලා ගනිමින් සිටියි.


පවුල් 600 පමණ ජීවත් වන නානුඔය ග්ලැස්කෝ වතුයායේ වතු කම්කරුවන් තම වතුයායේ දරුවකු උපාධියක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන නිසා ඔහු එම වතුයායට පැමිණි අවස්ථාවේ තමන්ට හැකි උපරිමයෙන් එම දරුවා තමන්ගේම දරුවකු ලෙස සිතා උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කළ බව වතු කම්කරුවෝ කියා සිටියහ.දෙමළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කිරීමට හැකියාව ඇති පුන්නිය සෙල්වම් මෙසේ පැවසීය.

මම හැදුණේ වැඩුණේ තේ වත්තේමයි. අම්මයි තාත්තයි වැස්සේ තෙමිලා අව්වේ වේලිලා නොකා නොබී ඉඳලා අපා දුකක් විඳලා වැඩ කරලා ලබන වැටුපෙන් අපි හතර දෙනා ජීවත් වුණා. මම විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මට මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලැබුණා,

ඊට අමතරව මගේ ආර්ථික පසුබිම සලකලා කිහිප දෙනකු මට බාහිර පන්තිවලින් අධ්‍යාපනය ලබන්න උදව් කළා. ඉගෙන ගන්න අපේ පවුල් පසුබිම වැදගත් වෙන්නේ නෑ. උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් අධ්‍යාපනයේ ඉහළ තැනකට යන්න පුළුවන්.මගේ ඊළඟ බලාපොරොත්තුව ආචාර්ය උපාධිය ලබාගැනීමයි. ඒ සඳහා මම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා.

තවත් මං වගේ වතුකරයේ ළමයි ගොඩක් ඉන්නවා උපාධියක් ලබා ගන්න බලාපොරොත්තුවෙන්. ඒ අයට දැනටමත් මම නොමිලේ නිවස තුළම පන්ති පවත්වනවා. වතුකරයේ ජනතාව කිව්වම කවුරුත් අප ගණන් ගන්නේ නෑ. ඒ ඇයි කියලා මම දන්නේ නෑ. අපි හොඳින් ඉගෙන ගත්තම අපට වටිනාකමක් ලැබෙනවා. ඒ නිසා වතුකරයේ අධ්‍යාපනය ලබන සියලුම නංගිලා මල්ලිලා හොඳින් ඉගෙන ගන්න ඕනෑ. අම්මලා තාත්තලා විඳින දුකෙන් ඔවුන් මුදාගෙන අපි මේ රටට වැඩක් කළ යුතුයි. මම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි උපාධිය ලබාගත්තේ ඉකුත් 12 වැනිදා. මම වත්තට ආ වේලාවේ වත්තේ වැඩ කරන සියලු දෙනා එකතුවෙලා මා උණුසුම් අයුරින් පිළිගත්තා. ඒකෙන් මට තේරෙන්නේ අපි හොඳට ඉගෙන ගත්තම ඒගොල්ලන්ට ආඩම්බරයක් ලැබෙන බවයි. ඒ තත්ත්වයට එන්න වතුකරයේ දරුවන් අධ්‍යාපනය ලැබීමට කැපවීමෙන් සහ උනන්දුවෙන් කටයුතු කළ යුතු බව නාරායනන් පුන්නිසෙල්වම් පැවසීය.
එෆ්එම් සුහෙල්




How-the-people-of-the-plantation-welcomed-the-first-young-man-in-a-tea-estate-after-graduating