arjentina-winner

ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා පෙරේදා(20) සංවිධානය කර තිබූ උත්සව අතරතුර සිදුවූ අනතුරු වලින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවත් තවත් 5 හැවිරිදි දරුවකු කෝමා තත්ත්වයට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ලෝක ශූර ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන් ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර පාපන්දු කණ්ඩායම රැගත් බසය ගමන් ගත් මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ක්‍රීඩා ලෝලීන් එම බසයට පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම හෙලිකොප්ටර් යොදා ගනිමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව බලධාරීන් ප්‍රකාශ කර ඇත.



ක්‍රීඩා ලෝලීන් බසයට පැනීමට උත්සාහ කරන අතරතුර තවත් පිරිසක් පොලිස් මෝටර් රථයක් පැහැර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.පාලම මත සිට ක්‍රීඩා ලෝලියකු ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට පැනීමට යාමේදී බසයේ වැදී බිමට ඇද වැටෙන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව ඇත.එසේම තවත් තරුණයකු ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක ශූරතාව දිනීමේ සතුට සමරන අවස්ථාවේ හිසට සිදු වූ තුවාල හේතුවෙන් රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වැනිදා මියගිය බවද ආර්ජන්ටිනා සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.



පෙරේදා(20) මියගිය 24 හැවිරිදි තරුණයා තම වහලට නැග ප්‍රීති ඝෝෂා නගමින් සතුට සමරා ඇති අතර එහිදී වහලය කඩා වැටීමෙන් අනතුර සිදු ව ඇති බව ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කර ඇත.එසේම 5 හැවිරිදි දරුවා තම දෙමාපියන් සමඟ උද්‍යානයක සතුට සමරමින් සිටියදී ස්මාරකයක තිබූ කිරිගරුඬ කැටයක් ඔලුවට වැටීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් කොමා තත්ත්වයට පත්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ආර්ජන්ටිනා මාධ්‍ය පෙන්වා දී තිබේ.ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සවය ඉක්මණින් අවසන් වීම හේතුවෙන් කෝප වූ ක්‍රීඩා ලෝලීන් විසුරුවා හැරිම සඳහා ආර්ජන්ටිනා කැරලි මර්දන පොලිසිය කැඳවීමට සිදු වූ බව ආර්ජන්ටිනා බලධාරීහු පැවසූහ.