2013 වසරේ සිට මේ දක්වා රු බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව විදුලි බිල යළි වැඩි කළයුතුව ඇතැයිද කීවේය.

අපි අගෝස්තු මාසයේ වැඩි කළා. ඒක මදි. දැන් බිලියන 151 අලාභයයක් ලැබෙන්න තියෙනවා. එන අවුරුද්දේ නියඟයක් තිබුණොත් අපිට අවශ්‍යයි වැඩිපුර රුපියල් බිලියන 420ක්.

සාමාන්‍යයෙන් වර්ෂාව ලැබුණොත් බිලියන 352ක්. වර්ෂාව ලැබිලා ගංවතුර තිබුණොත් රු බිලියන 295ක්. අපි මේවා කොහොමද හොයා ගන්නේ.ආණ්ඩුවට ආදායමක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ බලය ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට බව ප්‍රකාශ කළ ඔහු මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතුද යන්න තීරණය කරන ලෙස  අද පාර්ලිමේන්තුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසම සම්බන්ධයෙන් ගැටුමක් ඇති වූ බවයි.

“PUCSL හි සභාපතිවරයාට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමූහයක් වන Trillium Ltd අයත් වේ. මෙම සමූහය යටතේ ට්‍රිලියම් හැව්ලොක් රෙසිඩෙන්සීස්, සහ ට්‍රිලියම් මීගමුව විලාස් යන සමාගම් ගණනාවක් තිබේ.

මම දේපළ වෙළඳාම් සමාගම් අයිති කර ගත්තා නම් මම ගාස්තු වැඩි කිරීමට විරුද්ධව යනවා. මහජන උපයෝගිතා කොමිසමට එරෙහිව මට බොහෝ පැසසුම් ලැබී තිබුණා. ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මම සභාවෙන් ඉල්ලා සිටින්නේ එය විවාදයට ගෙන තීරණයකට එළැඹෙන ලෙසයි,"

"විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ බලය මහජන උපයෝගිතා පනත් කෙටුම්පතට සහ විදුලිබල පනතට අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට පැවරී ඇත. විදුලි බිල වැඩි කිරීමට කිසිවෙකු කැමති නැත, නමුත් අපි එය කළ යුතුයි. අපි එය කළ යුතුයි. අපට ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගත යුතුයි. රට වෙනුවෙන්, ජනප්‍රිය නොවන තීන්දු තීරණ නොගැනීමේ ප්‍රරතිඵලයක් ලෙස අද ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.විදුලි බල මණ්ඩලය බේරාගැනීමට රුපියල් බිලියන 400ක් සොයා ගැනීමට සිදුව තිබෙනවා."