bank-manager-love-student

කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක කොළඹ අවට පිහිටි ප්‍රසිද්ධ රථගාල් වලට රැගෙන ගොස් ඒවායේදී ලිංගික අතවරයට ලක් කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බිරිඳ මියගිය වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනෙකුගේ පියෙකු මෙම අපරාධයට චෝදනා ලැබ තිබේ.

කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටි අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී මීට මාස කීපයකට ඉහතදී නිවසේ දුරකතනයකට දුරකථන ඇමතුමක් ලැබී විසන්ධි වී ඇතැයිද මද වේලාවකදී නැවතත් ඇමතුම පැමිණ  කවුදැයි විමසීමේදී “ඇයි දුකින් වගේ කතා කරන්නේ” යැයි දෙදෙනා අතර ඇතිවූ සංවාදයෙන් පසු සුහදත්වයක් ඇති වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී සැකකරු දැරියට පවසා ඇත්තේ තමන්ගේ වයස අවුරුදු තිස් නවයක් බවත්ය. බිරිඳ මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනෙකු සිටින බවත්ය.

අනතුරුව එම පුද්ගලයාට නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවලදී නිවසේ දුරකථනයෙන්ද සමහර අවස්ථාවල දී පියාගේ දුරකථනය සොරාගෙන දැරිය එම පුද්ගලයා සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ.

පසුව වරින්වර දැරිය පාසලට යාම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවලදී අතරමගදී එම පුද්ගලයා දැරියව ඔහුගේ අඳුරු වීදුරු සහිත ජිප් රථයේ නංවාගෙන ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස්  වාහනය තුළදී දැරිය අපහරණය කර ඇති බව අනාවරණය වී ඇත.

සමහර අවස්ථාවලදී දැරිය සිය පාසල් බෑගයේ පාට ඇඳුම් දමාගෙන ගොස් ජීප් රථය තුළදීම ඇඳුම් මාරු කරගෙන ඔහු සමඟ එහි ගත කර පාසල ඇරෙන අවස්ථාව වන විට නැවතත් නිල ඇඳුම ඇඳගෙන සුපුරුදු ලෙස නිවසට ගොස් ඇති බවද හෙළිව ඇත.



එම අවස්ථාවලදී දෙදෙනාට අනුභව කිරීම සඳහා ක්ෂණික ආහාර, වතුර බෝතල් මෙන්ම ටිෂූ කඩදාසි සුපිරි වෙළඳසල්වලින් මිලදීගෙන ඇත.

මෙම සම්බන්ධය පන්තියේ එක් මිතුරියක් පමණක් දන්නා බවත් ඇය සැකකරුට දුරකථන ඇමතුමක් ලබාදී වයස අවුරුදු 18 වෙනකම් මෙම සම්බන්ධතාවය නතර කර දමන ලෙසත් පවසා ඇතැයි ද දැරිය ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වේ.

දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු දෙමව්පියන් නිවසේ ස්ථාවර දුරකථනයේ වාර්තාවක් ලබාගෙන පරික්ෂා කිරීමේදී නාඳුනන දුරකථන අංකයක් දැක ඒ බව පොලිසියට පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සියල්ල  අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.  සීසීටීවී දර්ශන ඔස්සේද පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත. දැරිය  සැකකරු සමඟ කාලය ගත කිරීමේ හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුද මඟ හැරී ඇතැයි පොලිසිය කියයි.



සැකකරුගේ තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔහු පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් ඔහු  පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු මෙන්ම දෙදරු පියෙකු බවත් වයස 50 ක්වන වැඩිහිටියෙකු බවත් අනාවරණය විය.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.