දිනපතා අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම ගැටලුසහගත තත්වයක් වී ඇතැයි ශ්‍රී ලංකාවේ පවුල් 10 කින් 8 ක් ප්‍රකාශ කළ බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 36 ක් (පවුල් 10න් 3ක්) ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවද එම වාර්තාවේ දැක්වේ.මීට පෙර සිදුකරන ලද සමීක්ෂණයේදී ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පිරිස ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 32 ක් ලෙස සටහන්ව තිබූ අතර නව සමීක්ෂණයේදී එය සියයට 36 ක් දක්වා වැඩි වී ඇත.



2019 වසරේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පිරිස සියයට 9.1 ක් වූ බවද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. අවම පරිභෝජනයට ගන්නා ආහාර කාණ්ඩය කිරි ආශ්‍රිත නිෂ්පාදන බවත්, ශ්‍රී ලාංකිකයන් පරිභෝජනයට ගන්නා කිරි ආශ්‍රිත නිෂ්පාදන ඉකුත් ජුනි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ හරි අඬකින් අඩුකර ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. වෙළෙඳපොළේ මිලදී ගැනීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තිබෙන බවට ඔක්තෝබර් මසදී වාර්තා වී ඇතත් පවුල් 10 න් 9 කම මිලදී ගැනීමේ හැකියාව සීමා වී ඇති බවද එහි දැක්වේ. පවුල්වලින් සියයට 50කට වැඩි පිරිසකට ආහාර ද්‍රව්‍ය ණයට ගැනීමට සිදුවී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.



පවුල් 10 න් 5 ක් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තම භාණ්ඩ උකස් කිරීමට හෝ පුද්ගලයන්ගෙන් ණයට ගැනීමට පෙළැඹී ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන පිරිස තවමත් ඉහළ මට්ටමක පවතින බවත් ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල පහළ ගියද පොදුවේ ආහාර ද්‍රව්‍යවල මිල වෙනස්වනසුලු  ස්වභාවයක් ගන්නා බවත්  එම වාර්තාවේ දැක්වේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 වසරේ තුන්වැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේආර්ථිකය සියයට 11.8 කින්  හැකිළී ඇති බවත් එය කාර්තුවක් තුළ ශ්‍රී ලංකාවේ  ආර්ථිකය හැකිළුණු දෙවැනි දරුණුතම ප්‍රතිශතය බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විශේෂයෙන්  වතුකරයේ පවුල්වලට සහ කාන්තාවන් මූලික පවුල්වලට තදින් බලපාන බවද එම වාර්තාවේ සඳහන් වේ.
 විමුක්ති එස්. රුද්‍රිගු